ඝාතනය වූ කොටකෙතනේ චන්ද්‍රාගේ පුතා මාධ්‍යයට කී කතාව

‘‘මෙට්ටේ හැමතැනම ලේ, කුස්සියට යනකොට එතනත් ලේ ගොඩක්‘‘

සැමියාගේ බාල සහෝදරයත් නිවසට ඇවිත්

ඝාතකයා පාදවලට මේස් දමාගෙන ආවාදැයි සැකයක්

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණයට හේතුව බර ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඊයේ (07) සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇයගේ හිස් කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි. එසේම මියගිය කාන්තාවගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6 ක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

39 හැවිරිදි චාන්දනී ස්වර්ණලතා නැමති තුන්දරු මව අතුරුදන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණේ පස්වනදා අලූයමයි. අනතුරුව නිවසේ සහ මිදුලේ තිබූ ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කළ පොලීසිය ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. පදිංචි නිවසට ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක තිබියදී ස්වර්ණලතාගේ සිරුර සොයාගත්තේ ඊයේ පස්වරුවේයි.

මේ අතර ඇය ඝාතනයට ලක්වීමට පෙර හෝ පසු ලිංගික අතවරයකට ලක්වී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා ඇයගේ ශරීර කොටස් කිහිපයක් බොරැල්ල ජාන පර්යේෂණායතනයේ විශේෂඥ වෙද්‍යවරුන් වෙත යොමුකර තිබෙනවා. ඒ, ඇයගේ ඝාතනය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද රත්නපුර රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුවයි. 

මේ අතර, ඇගේ නිවසේ තිබූ ලේ පැල්ලම් මත සටහන්ව තිබූ මේස් යුවළක සලකුණු සම්බන්ධයෙන්ද මේ වනවිට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඝාතකයා පාදවලට මේස් දමාගෙන පැමිණියේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ඇය ඝාතනය වන විට නිවසේ සිටි පුත්‍රයා ප්‍රථම වතාවට මේ වන විට මාධ්‍යයට සිද්ධිය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු පැවසු කරුණු පහතින්..

‘‘7.45ට විතර මං කාලා කාමරේට යන්න හදනකොට අම්මත් කාමරේට ගියා. අම්මා කාමරේට ගිහින් එහෙන්මම නිදාගත්තා. මමත් ඊට පස්සේ සාලේ ලයිට් නිවලා කාමරේට ගිහින් දොර වහගෙන නිදාගත්තා.

මට එහෙම්ම නින්ද ගියා. තාත්තා 2ට විතර ඇවිත් කතා කළා. කතා කළාම තමයි ඇහැරුනේ. ඊට පස්සේ අම්මා කොයි කියලා ඇහුවා. අම්මා කාමරේ කීවම කාමරේ ඇතුලට ගියා. යනකොට මෙට්ටේ හැමතැනම ලේ තිබුණා. ඊට පස්සේ කුස්සිය පැත්තට යද්දි එතනත් ලේ ගොඩක් තිබුණා. තාත්තා එක්ක ඊට පස්සේ එහෙන්ම එළියට ඇවිත් මාමලාටත් කතා කරලා පොලිසියට කීවා.‘‘

Share this