බැසිල් හෙට එනවලු - පිළිගැනීමට බස්නාහිර පළාත් මන්ත්‍රීන් යන්නේ නැහැලු

පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ බැසිල් රාජපක්ෂ මහතා හෙට (21) දින යළි ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී පවත්වන පිළිගැනීමේ උත්සවයට සහභාගි නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභාවේ සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන උත්සව කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා හෙට දින පවත්වන බැවින් එම අවස්ථාවන්ට සහභාගිවීමට ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණයක් ගෙන තිබීම මෙයට හේතුව ලෙස දැනගන්නට තිබේ. 

හෙට දිනයේදී හේනේගම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ දම්සක් විහාරය, ඉහළ ගැඩුමාන  ප්‍රජා සේවා බෞද්ධ මධ්‍යස්ථානය, ඉහළ ජාගොඩ මිහිඳුවර්ණ භාවනා මධ්‍යස්ථානය යන ස්ථානවල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සව පැවැත්වෙයි. එසේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්න මහතාගේ නිවසේ හෙට දින විශේෂ දිවා භෝජනයක්ද පැවැත්වෙන අතර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාද එක්වෙයි. මෙම අවස්ථාවට සහභාගී වන්නැයි බස්නාහිර පළාතේ සන්ධානය නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබුණි. එම දිවා භෝජනය පැවැත්වෙන්නේ දහවල් 12 සට 2 දක්වායි.

බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ දහවල් 1ට පමණය. මේ තත්ත්වය තුළ ඒ මහතා පිළිගැනීමේ උත්සවයට සහභාගි නොවී මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන උත්සවවලට සහභාගීවීමට මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ. 


Share this