මං පෙන්ෂන් ගත්තෙ නෑ... පොඩි බ්‍රේක් එකක් විතරයි ගත්තේ

දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බවට තමන් කුමන ස්ථානයකදීවත් ප‍්‍රකාශ කර නොමැති බවත් මේ වේලාවේ ගෙන ඇත්තේ විවේකයක් පමණක් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස් මාධය අමතා සඳහන් කර ඇත. රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පවසා ඇත.

විදෙස් රටවල ක‍්‍රියාත්මක සීඅයිඒ - එම්අයි 06 වැනි රහස් ඔත්තුසේවාවන් සමඟ එක්ව තමන්ට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේ දී කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඔහුගේ රජය මෙම කුමන්ත‍්‍රණය වෙනුවෙන් සහාය දැක්වූ බවට තමන් විශ්වාස නොකරන බව ඔහු කියා ඇත.

මීට පෙර අවස්ථා 03ක දී මෝදි අගමැතිවරයාව මුණ ගැසුණු බැවින් ඔහු තම රටට පැමිණෙන විට ඔහුව හමුවීම වැදගත් කොට සළකන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට පිවිසෙන බවට පැතිර යන තොරතුරු පිළිබඳ ඇසූ විට තමන් කුමන අවස්ථාවකදීවත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බවට පවසා නොමැති බවත් මෙම අවස්ථාවේ දී විවේකයක් පමණ ගෙන ඇතැයි ද පැවසූ බව හින්දු පුවත්පත වාර්තා කර සිටියි.


Share this