වලේ සුදා ට‍්‍රැක්ටර් අස්සේ කුඩු හංගපු හැටි

වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර පාකිස්තානයේ සිට එවන ලද මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ අංගනයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අද (16) පරීක්ෂාවට ලක් කළා. ඒ, දැනට පොලිස් භාරයේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගෙන් ලද තොරතුරුවලට අනුවයි.

කැළණිය - සිංහාරමුල්ල කතෝලික දේවස්ථානය ඉදිරිපිට පිහිටි මෙම අංගනයේ තිබී මත්කුඩු සගවාගෙන ආ පාකිස්තානයේ නිෂ්පාදිත ට‍‍්‍රැක්ටර් 26ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

අදාළ ට‍‍්‍රැක්ටර්වල ගියර් පෙට්ටි ඉවත් කර තිබූ අතර එම ස්ථානයේ මෙම මත්කුඩු සගවා මෙරටට රැගෙනවිත් තිබෙනවා. කෙසේ වෙතත්, එම මත්කුඩු මේ වන විට බෙදා හැර අවසන් බවයි පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශකවරයා සදහන් කළේ.

ශ‍‍්‍රී ලාංකිකයෙකුට අයත් මෙම අංගනය, බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට රුපියල් 185,000ක මාසික කුලී පදනම මත ලබාදී තිබෙනවා. එහි තවත් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු සේවය කර ඇති අතර, ඔවුන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය වී ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

මෙම ට‍‍්‍රැක්ටර් වරායෙන් පිටතට ගෙන ආ ආකාරය සහ මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ.







Share this