වැලන්ටයින් සැමරුවේ මොබයිල් ෆෝන් එකෙන් - දිලිනි ලක්මාලි

අපට හමුවන දක්ෂ මෙන්ම ජනප‍්‍රිය නිළියක් තමයි දිලිනි ලක්මාලි. හැබැයි අද අපි කතා කරන්නේ ඇගේ කලා ජීවිතේ ගැන නම් නෙමෙයි. දැන් ටික දවසක සිට දිලිනි බොහොම සතුටින් සැහැල්ලූ‍වෙන් ඉන්නවායි කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඇගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් මේ විශේෂ සතුටට හේතුව මොකද්ද කියලා ඇගෙන්ම අසා දැන ගන්න අපි හිතුවා.

දිලිනි මේ දවස්වල විශේෂ සතුටකින් ඉන්න හැඩයි?

පොඩි විශේෂ සතුටක් නම් තියෙනවා. හැබැයි මම කොහොමත් නිතරම හිනා වෙලා සතුටෙන් ඉන්න කැමැති කෙනෙක් නේ.

ඒ විශේෂය සතුට දැන් වැඩිපුර මල් කඩන නිසා වෙන්නැති?

හ්ම්ම්. ටිකක් එහෙම තමයි. වයිබර් වලට පින් සිද්ධ වෙන්න මල් කඩනවා. සිග්නල් නැති වුණොත් ඒකත් ඉවරයි.

ආදරවන්නයන්ගේ දිනයත් ජයටම සැමරුවා කියලත් ආරංචියි?

වැලන්ටයින් ජයටම සමරන්න මගේ පාට්නර් මෙහේ හිටියේ නැහැ. ඒ නිසා අපිට ෆෝන් ඒකෙන් තමයි වැලන්ටයින් සමරන්න වුණේ. ළඟ නොහිටීම ගැන පුංචි දුකකුත් තියෙනවා.

ළඟ නැහැයි කිව්වේ?

ඔහු විදෙස් ගතවයි ඉන්නේ.

ඔය අහු වුණේ හොරේ. දැන් වත් හංගන්නේ නැතුව කිව්වොත් හොඳ නැද්ද?

හම්ම්.... නම ගම නම් පස්සේ කියන්නම්කො. දැනට ඔහු මගේ පළමු පෙම්වතා කිව්වොත් හරියටම හරී. 2008 දී තමයි අපි හමු වුණේ නමුත් පසු කාලෙකදී පොඩි පොඩි ප‍්‍රශ්න නිසා අපිට වෙන් වෙන්න සිද්ධ වුණා. ඒත් දෛවය කියන දේ වෙනස් කරන්න අමාරු ඇති. ඒ නිසා නැවත අපි මුණ ගැහුණා.

පළමු පෙම නැවත අලූ‍ත් වෙලා වැඩි කාලයක් නැහැ නේද?

ඔව්. අපේ සම්බන්ධය නැවතුනාහම මම හිතුවේ නැහැ ඒ ආදරය නැවත ලැබෙයි කියලා. නමුත් අපි වෙන් වුණත් ඔහු නිතරම මගේ ටෙලි නාට්‍ය වගේම මම ගැන පත්තර වල පළ වුණු විස්තර පිළිබඳ නිතරම හොයලා තිබුණා. මම ළඟ නොහිටියත් ඔහු මම ගැන හොඳට අප්ඬේට් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මිට වසර දෙකකට කලින් ෆෙස් බුක් ඔස්සේ නැවත අපිට කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ කතා බහ දුර දිග ගිහින් නැවත එය ආදරයක් බවට පෙරළුණා. ‍

ඔහු ඔබේ හොඳ රසිකයෙක් වගෙයි?

ඔව්. මගේ හොඳ ෆෑන් කෙනෙක්. ඒ වගේම මගේ කලා කටයුතුවලටත් ඔහුගෙන් ලොකු සහායක් ලැබෙනවා.

කලාවට ඔහුගේ සබඳතාවයක් තියෙනවාද?

කලාවට සම්බන්ධයක් නැහැ. නමුත් කලාවට ඔහු වඩාත් ප‍්‍රියයි.

දැන් ඉතින් දෙන්නට එක වහලක් යටට එන්න කල දසාවත් හරි නේද?

පහු ගිය පාර ආවාහම අ‍පේ සම්බන්ධය ගැන අපි ගෙවල්වලට දැනුවත් කරලා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගත්තා. විවාහයට දින නියම කරගන්න නම් ඔහු නැවත ලංකාවට එනකම් ඉන්න  ඕනේ.

විවාහයෙන් පස්සේ දිලිනිත් විදෙස් ගත වෙයිද?

අපෝ නැහැ. තව අවුරුදු එකහමාරකින් ඔහු මෙහෙ පදිංචියටම එනවා.

දැන්ම කොල්ලාට නීති දාලා වගේයි?

අනේ නැහැ. ඔහු කැමැත්තෙන්මයි එන්නේ.

කලාවට ඔහු ප‍්‍රිය නිසා විවාහයෙන් පසු දිලිනිගේ කලා ජීවිතය සීමා වෙන එකක් නැති වෙයි?

විවාහයෙන් පස්සේ මගේ රංගන කටයුතු ගැන තවම නිශ්චිත තිරණයකට ඇවිත් නැහැ. අපි ඉදිරියේදි බලමුකෝ මොනවද වෙන්නේ කියලා.

Share this