'මගේ තටු කැපුවේ නැහැ' - රුවන්

දුෂිතයන් හා අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ඇති ප්‍රමාදය පිළිබඳව නව රජය විවේචනයට ලක්වෙමින් තිබිය දී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සමග සාකච්ඡාවක නිරත වුණා.

කුමරන් පද්මනාදන්

කේ පී හෙවත් කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගන්නා බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වුවද එය පමා වන්නේ මන්දැයි ඇසූ විට රුවන් විජේවර්ධන ඇමතිවරයා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ද මැදිහත් වීම මත අධිකරණය තුළ ඒ පිලිබඳ මුලික කටයුතු සිදුවෙමින් පවතින බැවින් එක් වරම ඔහු අත් අඩංගුවට ගැනීමට හැකියාවක් නැති අතර අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමට අදහස් නො කරන බවයි.

යෝෂිත රාජපක්ෂ

හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජේවර්ධන පැවසුවේ දැනටමත් නාවුක හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ භටයෙක් ලෙස තමාව පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ පිලිබඳ තීරණයක් ගෙන නැති නමුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.
සුදුසු ව්‍යාපෘතියක්

හමුදා සෙබළුන් මහාමාර්ග පිරිසිදු කිරීම් වැනි හමුදා ක්‍රියාන්විතයෙන් පරිබාහිර කටයුතු වල යෙදවීම නවතා ඇති දැයි විමසූ විට ඇමතිවරයා කියා සිටියේ ඔවුන් සඳහා සුදුසු වෙනත් ව්‍යාපෘතියක් තවමත් සැලසුම් කර නැති බවයි.

පසුගිය සතියේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට අයත් විෂයන් වෙන් කිරීමක් සිදු කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ “තටු කපා” ඇතැයි කටකතා පැතිර ගියද සැබවින්ම සිදු වූයේ ජනාධිපතිවරයා විසින් යම් විශ්වාසයකින් යුතුව තමන්ට විෂයයන් කිහිපයක් භාර දී ඇති බවයි.

මින් ඉදිරියට ද ආරක්ෂක හමුදාවන් පිළිබඳව සොයා බලන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

උපුටා ගැනීම - බී බී සී සංදේශය



.

Share this