ලෝක කුසලාන පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලකුණු 98කින් පරදී

දුර්වල පන්දු රැකීම සහ දුර්වල පන්දු යැවීම හේතුවෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී සත්කාරක නවසීලන්තය හමුවේ ශ‍්‍රී ලංකාවට ලකුණු 98ක දරුණු පරාජයක් හිමිවිය.

තරගයේ ප‍්‍රථමෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු ගණන 331කි.නමුත් ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට පන්දුවාර 46යි පන්දු 1ක් තුළදී සියලූ‍ ක‍්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 233ක් පමණි.

නවසීලන්තයේ ක‍්‍රියිස්චර්ච්හිදී පැවති තරගයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වැදුණේ A කාණ්ඩයෙනි. කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සුළු ප‍්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ කරනු ලැබිණි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ මාර්ටින් ගප්ටිල් පිටියට පිවිසියේය.මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු ලකුණු වාර්තා වූයේ වයිඞ් පන්දුවකින් වීම විශේෂත්වයකි.

පළමු පන්දුවාරයේදීම හතරේ පහරක් වාර්තා කිරීම ද තවත් විශේෂත්වයකි. එම සිදුවීම් සියල්ල සිදු වූයේ නුවන් කුලසේකර විසින් ක‍්‍රියාත්මක කරනු ලැබූ පළමු පන්දුවාරයේදීය. මැකලම් සහ ගප්ටිල් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

මෙවර ලෝක කුසලානය පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට නවසීලන්තයේ බ්‍රේන්ඩන් මැකලම් සමත් විය. නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය මැකලම් ලබාගත් ලකුණු ගණන 65කි. මෙවර ලෝක කුසලානයේ පළමු කඩුල්ල රංගන හේරත් විසින් දවාගනු ලැබිණි.

දෙවන කඩුල්ල ලෙස මාර්ටින් ගප්ටිල් ලකුණු 49කට දැවී ගියේය. නවසීලන්ත ඉනිමේ 3වන සහ 4වන කඩුල්ල 33වෙනි පන්දුවාරයේ 3වන සහ 4වන පන්දුවලදී දවා ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් විය. නමුත් ඔහුට කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගැනීමට නොහැකි විය.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් ඉදිරියේ අද දැඩි ප‍්‍රහාරයකට ලක්විය. කෝරේ ඇන්ඩර්සන් විසින් ලබාදුන් පහසු උඩපන්දුවක් ජීවන් මෙනඩිස් අතින් ගිලීහි ගියේය. ඊට අමතරව කුමාර් සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් අතින්ද උඩපන්දු ගිලිහී ගියේය.

පන්දු යැවීමේදී අතිරේක ලකුණු වැඩි ප‍්‍රමාණයක් නිපන්දු සහ වයිඩ් පන්දු තුළින් නවසීලන්ත ක‍්‍රීඩකයින්ට හිමිවිය. ශ‍්‍රී පන්දු යවන්නන් නවසීලන්ත කණ්ඩායමට ලබාදුන් අතිරේක ලකුණු ගණන 13කි. ඉන් 8ක් වයිඩ් පන්දු වූ අතර 3ක් නිපන්දු වීම විශේෂත්වයකි.

මීට සති 6කට පමණ පෙර නවසීලන්තයේ තරග සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් එහි වාසිය අද තරගය තුළදී ලබාගත් බවක් දක්නට නොලැබිණි.නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කෝරේ ඇන්ඩර්සන් පන්දු 46කදී ලකුණු 75ක් ලබා ගත්තේය. නවසීලන්ත ක‍්‍රීඩකයින් අවසන් පන්දුවාර 10 තුළදී කඩුලූ‍ 2ක් පමණක් දැවී ලබාගත් ලකුණු ගණන 102කි. සුරංග ලක්මාල් පන්දුවාර 10කදී ලකුණු 62කට කඩුලූ‍ 2ක් දවා ගත්තේය.

පන්දුවාර 2කදී ලකුණු 5කට ජීවන් මෙන්ඩිස් කඩුලූ‍ 2ක් දවා ගැනීමට සමත් විය. නුවන් කුලසේකර සහ රංගන හේරත් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ලහිරු තිරිමාන්න සහ ටී.එම්. ඩිල්ෂාන් පිටියට පිවිසියේය.

ජයග‍්‍රහණයේ බලාපොරොත්තු නංවමින් ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාවය ලකුණු 67කි. ඩිල්ෂාන් ලකුණු 24කටඉ දැවී ගියේය. මෙවර ලෝක කුසලානයේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධ ශතකය ලබාගත් පිතිකරුවා බවට ලහිරු තිරිමාන්න පත්විය. ඔහු පන්දු 60කදී ලබාගත් ලකුණු ගණන 65කි.

ශ‍්‍රී ලංකා කණ්ඩායෙම් බලාපොරොත්තු සහගත පිතිකරුවා වූ මහේල ජයවර්ධන අද ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීම විශේෂත්වයකි. මහේලට මුහුණදීමට හැකි වූයේ පන්දු 4ක් පමණි. කුමාර් සංගක්කාර ලකුණු 39කට දැවී ගියේය. මෙවරද සුපුරුදු පරිදි ශ‍්‍රී ලංකා ඉනිමේ මැදපෙළ බිඳ වැටුණි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46කට දැවී ගියේය. ශ‍්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලූ‍ 5 ලකුණු ලකුණු 54ක් තුළ දැවීයාම විශේෂත්වයකි. ටිම් සවුති, ට‍්‍රේන්ට් බුල්, ඇඩම් මිලෙන්, ඩැනියෙල් විටෝරි සහ කෝරේ ඇන්ඩර්සන් අතර කඩුලූ‍ 2 බැගින් බෙදී ගියේය.නවසීලන්තයේ කෝරේ ඇන්ඩර්සන්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

ලෝක කුසලානයේ ශ‍්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 22 වනදා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිතය.










Share this