ලෝක කුසලානය ආසියාවට ගේමු - මෝඩිගෙන් මෛත‍්‍රීට දුරකථන ඇමතුමක්

හෙටින් ආරම්භ වන ICC ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු සාක් කාලාපීය නායකයින් වෙත සුබපැතුම් එක්කර තිබෙනවා.

සිය Twitter ගිණුමේ නරේන්ද්‍ර මෝඩි මේ බව සඳහන් කර ඇත.

ඊට අමතරව ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, පාකිස්ථාන, යන රටවල නායකයින්ට ද නරේන්ද්‍ර මෝදී මෙලෙස සුබපැතුම් එක්කර ඇත.

සාක් කලාපයේ රටකට ලෝක කුසලානයේ කිරුළ ගෙන එනු දැකීම තම අපේක්ෂාව බව නරේන්ද්‍ර මෝඩි සිය Twitter ගිණුමේ සඳහන් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථන ඇමතුමක් ඔස්සේ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ සුබපැතුම් එක්කර ඇති බවද වාර්තා වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය ඉන්දු - ලංකා සබඳතාවල නව ප‍්‍රවේශයක් වනු ඇති බව එම දුරකථන සංවාදයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකික දූත පිරිස පිළිගැනීමට ඉන්දියානු රජය සහ ජනතාව ඉතා සතුටින් බලා සිටින බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර අවසන් බවද ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 15 වන දින සිට 18 වන දින දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

සංචාරය තුළ දී ජනාධිපතිවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි මහතා ද හමුවීමට නියමිතය.

මීට අමතරව ඉන්දීය දේශපාලන පක්ෂ නායකයින් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වේ.





Share this