ගාලු ඔරලෝසුවට අකුණු වදී

යුනෙස්කෝ ලෝක උරුම ස්මාරකයක් වන ඓතිහාසික ලන්දේසි කොටු පවුරේ වන්ද්‍රවංක අට්ටාලයේ ඇති ඉපැරණි ගාලු ඔරලෝසු ස්ථමිභය ඉකුත් දා අකුණු සර වැදීමකට ලක්ව ඇත. අකුණු ප්‍රහාරයෙන් ස්ථම්භයේ ඉහළ කොටස බරපතල ලෙස හානියට පත්ව ඇත. අනතුරින් එහි වූ ශෛලමය කොටස් කිහිපයක් ගැලවි ගොස් ඇති අතර කණුවේ ඉහළ කොටස බරපතල ඉරිතැලීමකට ලක්ව ඇත.
අකුණු සැරයෙන් බුරුල්වී ඇති ශෛලමය කොටස් කිසියම් හෝ මොහොතක ගැලවී යාමට ඉඩ ඇති අතර එම ප්‍ර දේශයේ නිරන්තරයෙන් ගැවෙසෙන සංචාරකයන්ට එම තත්වය ඉතා අනතුරුදායක බව ජනතාව පවසති.

වසර 321 කි පමණ ඉපැරණි මෙම අභිමානවත් නිර්මාණය ගාල්ල කොටුව තුළ ඇති සුවිශේෂි සංකේතයකි. ඉතිහාසගත කරුණු අනුව ගාල්ල බලපිටිය එවක විසූ දානපතියකුගේ මුල්‍යමය පරිත්‍යගයෙන් ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන්ගේ සුවිසල් ඉදිකිරීමක් වන මෙය 1833 දි ඉදිකර ඇත්තේ ලංඩන් විශ්ව විද්‍යාලයෙන් එම්.ආර්.සී.පි වෛද්‍ය උපාධිය ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික විද්‍යාර්ථියා වන වෛද්‍ය ඩී.පී.අන්තෝනිස් මහතා ට ගෞරව පිණිස වේ.

අකුණු අනතුරට පත් මෙම සුවිසල් ඔරලෝසු ස්ථම්භය පිළිසකර කිරීමේ ප්‍රමාදය පිළිිබද විමසූ විට ගාල්ල නගරාධිපති මෙත්සිරි දසිල්වා පවසා සිටියේ අදාල අනතුර පිළිබද පරීක්ෂාකොට තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ගාලු නාගරික ඉංජිනේරුවරයා වෙත නියෝගකර ඇති බවත් එය ලද වහාම ගාලු නාවික හමුදා කදවුරේ සහයොගය ඇතිව අදාල පිළිසකර කිරීම් කරන බවත්ය.

මීට කලකට පෙර ඔරලෝසු ස්ථම්භයේ ආරක්ෂාවට සවිකර තිබු අකුණු සන්නායක පද්ධතිය කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදි මාධ්‍ය වෙත කරුණු අනාවරණයවී තිබේ.





Share this