I did not come into politics

මම දේශපාලනයට එන්නේ නෑ - දුල්මිණි අත්තනායක

ප්‍රශ්නය - දුල්මිණි දැන් හරි ජනප්‍රියයිනේ. ෆේස්‌ බුක්‌ එකේ ඔයා ගැන ගොඩක්‌ විස්‌තර සඳහන් වෙලා තිබුණා. ඒවා දැක්‌කාද.......?

පිළිතුර - මම ඒවා දැක්‌කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා.

ප්‍රශ්නය - පරම්පරාවෙන් දේශපාලනය කිරීම බොහෝවිට දකින්නට පුළුවන් දෙයක්‌. දැන් ඔබත් ජනප්‍රිය නිසා දේශපාලනයට එන්න එහෙම අදහසක්‌ නැද්ද.......? 

පිළිතුර - මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. මම බ්‍රිතාන්‍යයේදී කළමනාකරණ උපාධිය හැදැරුවා. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්‌සුන්ට සේවය කරන්න ඕනේ. ඒකට දේශපාලනයම ඕනේ නැහැනේ. මට සමාජ සේවා සංවිධානයක්‌ හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ.

ප්‍රශ්නය- තාත්තා බොහෝ කාලයක්‌ සේවය කරපු එජාපයේ මහලේකම් කමෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දෙන්න ගියේ නැත්නම් මේ ආණ්‌ඩුවේ ඇමැති කෙනෙක්‌. එහෙම වුණා නම් අද ඔයා ඇමැති කෙනෙක්‌ගේ දුවෙක්‌. තාත්තා තව ටිකක්‌ ඉවසුවා නම් හොඳයි නේද?.....

පිළිතුර - ඒ දවස්වල අප්පච්චි හිටිය පීඩනය අපි දැක්කා. අපිත් එක්කත් ඒ ගැන කතා කළා. අප්පච්චිට එජාපය දාලා යන්න වුවමනාවක් තිබ්බේ නැහැ. අප්පච්චිට දුන්න වධ නිසාමයි එයාට යන්න සිද්ධ වුණේ. 
ඇමැතිකම් අප්පච්චි ඕනෑ තරම් කරලා තියෙනවා. අප්පච්චි ඒ කාලෙත් මෙහෙම තමයි. අපිවත් අප්පච්චිවත් ඇමැතිකම් නිසා අමුතු විදියට හැසිරුණ අය නෙමෙයි. අප්පච්චිට ඇමැතිකමක් තිබ්බයි කියන එක අපිට අලුත් දෙයක්වත් අමුතු දෙයක්වත් නෙමෙයි. ඒක නැහැ කියලා මම නම් දුක් වෙන්නේ නැහැ. 

ප්‍රශ්නය - එජාපයට ආණ්ඩු බලයක් තිබෙන වෙලාවක තාත්තා සිරගත වීම ගැන මොකද හිතෙන්නේ. 

පිළිතුර - අප්පච්චි තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ආරක්ෂා කරපු වෙන කෙනෙක් නැතිව ඇති. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කවුරු හරි වැරැද්දක් කියනවා නම් ඒකට අප්පච්චි කිසිම ඉඩක් දුන්නේ නැහැ. මට දුක ඒකයි. එහෙම කරපු අප්පච්ච එජාප ආණ්ඩුවෙන්ම හිරේ දාපු එකයි. 

ප්‍රශ්නය - එජාපයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඔබ හඳුනනවා ඇති. තාත්තා ගැන ඒ අය ඔබත් එක්ක දුරකථනයෙන් කතා කළේ නැද්ද?


පිළිතුර - නැහැ. ඒ කවුරුත්ම මට නම් කතා කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා නම් බන්ධනාගාරය ගාවදී මාත් එක්ක කතා කළා.





Share this