158 වැනි ලෝක බාලදක්ෂ දිනය සැමරේ

සමාජයට වැඩදායී සමාජයට පිළිලයක් නොවන සමාජයට ගරු කරන ඉතා යහපත් පුද්ගලයකු බිහි කිරීම බාලදක්ෂ ව්‍යාපාරයේ හොඳ මාර්ගය බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ 2015 පෙබරවාරි මස 22 වනදාට යෙදී තිබූ 158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් පවතින පාසල තුළ විභාගවලින් පිටස්තරව දරුවන්ට ලැබිය යුතු දැනුම, ප්‍රායෝගික දැනුම සහ සතුට මේ සියල්ලම ලබාගත හැකි එකම ක්‍රමය බාලදක්ෂ ව්‍යාපාරය බවයි. 

බාලදක්ෂ ව්‍යාපාරය ළමුන් මානසික, ශාරීරික සහ අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරන අතරම නිර්මාණාත්මක පුද්ගලයකු ලොවට දායාද කිරීම අරමුණු කර ගත් ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි. 1907 එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී ආරම්භ කෙරුණු බාලදක්ෂ ව්‍යාපාරයට මේ වන විට වසර 158ක් ගත වී ඇති අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් සාමිවරයායි. මෙහි ආරම්භයේ සිට වසර පහක් ගත වූ තැන එනම් 1912දී මෙම ව්‍යාපාරයට එවකට මෙහි සේවය කළ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරයකු වූ F.G. ස්ටීවන් මහතා විසින් ලංකාවට හඳුන්වා දෙන ලදී.

රොබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් නොහොත් ලොව පුරා බාලදක්ෂයන් ආදරයෙන් අමතන බී.පී. තුමා 1857 පෙබරවාරි මස 22 වන දින උපත ලබා ඇති අතර එතුමා සිහිකිරීම උදෙසා සෑම වසරකම පෙබරවාරි 22 වනදා ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කර තිබෙනවා. සෑම රටකම සිටින බාලදක්ෂයන් එදිනට එතුමා සිහිකර විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා. 

මෙම ලෝක බාලදක්ෂ දින සැමරුම් ජාතික උත්සවය හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබුවා. මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සිරාස් සාලි මහතා, සහය ප්‍රධාන කොමසාරිස්වරුන් වන ඩේමියන් සිල්වා මහතා හා කපිල කල්‍යාන යන මහත්වරුන් සහ අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ සංගමයේ සභාපත් මීගමුව මහ අධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක මහතා ඇතුළු අමුත්තන් රැසක් හා බාලදක්ෂයින් විශාල පිරිසක් සභාගිව සිටියා. 
මෙහිදී අවිස්සාවේල්ල බාලදක්ෂ දිසාවේ රන්තරු දිනාගත් පෝතක බාලදක්ෂයන් හට රන් තරු ප්‍රධානය හා බාලදක්ෂයෙකු ලෙස ලබාගත හැකි ඉහළම ප්‍රදානය වන ජනාධිපති ප්‍රධානයක් එම දිසාවේ බාලදක්ෂ බාලිකාවකට ලබාදීමද සිදු විය. 


අවිස්සාවේල්ල බාලදක්ෂ දිසාවේ දිසා කොමසාරිස් දිලුම් දුමින්ද මහතාගේ මග පෙන්වීම මහත අවිස්සාවේල්ල බාලදක්ෂ දිසා සංගමය විසින් මෙම උත්සවය සංවිානය කර තිබුණා. 

ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ


















Share this