වඳුරඹ OIC ඉල්ලා අස්වේ

ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමන් වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බැව් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පී. එල්. කීර්තිසිංහ මහතා පවසයි.ගාල්ල දඩැල්ලේ ඒ මහතාගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පතිවරයාට යොමු කිරීමට කටයුතු කළ බව පවසන පී. එල්. කීර්තිසිංහ මහතා තම නිල ඇඳුම් ගලවා නිවෙසට පැමිණි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය. පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිවිය. මේ සම්බන්ධව නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාටද චෝදනා එල්ල විය.

නියෝජ්‍ය ඇමැතිවරයා පොලිසිය නිසි අයුරින් රාජකාරි නොකළ බවටද චෝදනා කෙළේය. වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. එල්. කීර්තිසිංහ මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ඔහු ගනු ලැබූ තීරණය පිළිගන්නවාද නැද්ද සම්බන්ධයෙන් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තීරණයකට එළැඹ නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා  පැවැසීය.

වඳුරඹ පොලිස් වසමේ සිදුවූ දේශපාලන රැස්වීමක සිද්ධි දාමයක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඊට අදාළව මේ පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳවද පරීක්‍ෂණයක් පැවැත්වෙන බවද කී අජිත් රෝහණ මහතා මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවද කීය.
එම පොලිස් වසමේ දේශපාලන රැස්වීමකට පහරදීම සම්බන්ධයෙන් හා පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දේශපාලනඥයන් විසින් නිදහස් කරගෙන යාම පිළිබඳව ඔහු වගකිවයුතු බවත්, අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Share this