ලෝකේ වටේ ගොඩක් මිතුරෝ මට ඉන්නවා - ගයාන් මංජුල

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ දියුණුවත් සමග ඒ හා බැඳි බාහිර දේවලටද යම් යම් වටිනාකම් හිමිවීම සාමාන්‍ය දෙයකි. පිටිය තුළ සිදුවන දේ තරමටම ඉන් පරිබාහිරව සිදුවන දැ පිළිබඳව තරගය ආවරණය කරනු ලබන රූපවාහිනී ආයතනය අවධානය යොමු වීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රබල හේතුවක්‌ වී තිබේ. ඒ හරහා එම ප්‍රේක්‍ෂකයන් අතර පසුවන සුවිශේෂී ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයන්ට එම රූපරාමුවල විශේෂ ස්‌ථානයක්‌ හිමිවනු ඇත. ගයාන් මංජුල සේනානායක හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දිරිගන්වන්නා "කරළියට" පිවිසෙන්නේ මේ හරහාය. 

කොහොමද ගයාන්... පොඩි විවේකයක්‌ ලැබිලා නේද...?

ඔව්. ඒත් ගොඩක්‌ වෙලාවට මේ සතියේ අන්තිම වෙද්දී නවසීලන්තය බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ කියන්නේ ලෝක කුසලාන ඉවර වෙනකම්ම රටින් පිට...?

ඔව්. මම නවසීලන්තෙ තරග ඉවර වෙලා ඔස්‌ටේ්‍රලියාව බලා යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානයෙදි කණ්‌ඩායම දිරිගන්වන්න.

ඔබව ගොඩක්‌ම දන්න මෑතක සිටන්. කොයි කාලෙ ඉඳලද කණ්‌ඩායම දිරිගන්වන්න පටන් ගත්තේ...?

2000 වසරෙ ඉඳන් මම ක්‍රීඩාංගණවලට ගිහිල්ලා තරග නරඹන්න ගත්තේ 2000 වසරේ විතර ඉඳන්. එදා ඉඳන් මේ වෙනකම් ශ්‍රී ලංකාවෙ පැවැති ඔක්‌කොම තරග වගේ බලලා තියෙනවා. විදෙස්‌ සංචාරවලට සහභාගිවන්න ගත්තේ 2006 විතර ඉඳන්.

මේ කාලය තුළ ඔබ නරඹපු අමතක නොවනම තරගය මොකක්‌ද..? 

96 ලෝක කුසලාන දින්න එකත් මම රූපවාහිනියෙන් නැරඹුවා. නමුත් 2014 බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන ජයග්‍රහණය තමයි මට අමතක නොවනම තරගය.

තරග දිරිගන්වන්නකු ලෙස මේ දේ ඔබ සපුරා ගත යුතුයි කියලා දෙයක්‌ තිබුණද...?

ඇත්තටම ඔවු. මම ආස කරලා තිබුණා මෙල්බර්න් ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගයක්‌ නරඹන්න. ඒ සිහිනය මම සැබෑ කරගත්තා. ඒ වගේමයි එංගලන්තෙ ලෝඩ්ස්‌ පිටියේ ටෙස්‌ට්‌ තරගයක්‌ නරඹන්න. ඒකත් ඉෂ්ඨ කරගත්තා.

ඔබ නිරන්තරයෙන්ම ජාතික ක්‍රීඩකයන් සමග ගැවසෙන කෙනෙක්‌. කොහොමද ඔවුන් අතර තිබෙන සම්බන්ධතාවය...?

ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනා අඳුරනවා මෙන්ම ඔවුන් සමග පෞද්ගලිකවම සම්බන්ධතා තියෙනවා. ඔවුන් මට සංචාරවලට ගියාම ගොඩක්‌ උදව් කරනවා. දැනටත් පිටරට සංචාරවලදී ප්‍රවේශ පත්‍ර ලබා දෙන්නේ ඔවුන්.

ක්‍රීඩකයන් අතර ප්‍රියතම ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත්..?

ඔක්‌කොටම කැමැතියි. නමුත් මහේල ජයවර්ධන ඒ අතරින් සුවිශේෂයි. ඔහු හොඳ ක්‍රීඩකයන්. ක්‍රීඩාවෙන් බැහැරවත් පෞද්ගලිකවත් ඔහු හොඳම මනුස්‌සයෙක්‌. 

මේ වන කොට ඔයා කොච්චර තරග සංඛ්‍යාවක්‌ නරඹලා තියෙනවද...?

ටෙස්‌ට්‌ සහ එක්‌දින තරග ඔක්‌කොම 180 ක්‌ වගේ නරඹලා තියෙනවා.

තරගයක්‌ නරඹනවා කියන්නේ මුදල් වැය වෙන කර්තව්‍යයක්‌. ඒ අතරින් ඔබ විදෙස්‌ රටවල පැවැත්වෙන තරග පවා නරඹනවා. කොහොමද ඒ අභියෝගය ජය ගෙන තියෙන්නේ...?

කතාව ඇත්ත. මුලින්ම මම මගේ පෞද්ගලික මුදලින් තරග නැරඹුවේ. පස්‌සේ ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතා මට ඒ සඳහා පෞද්ගලික මට්‌ටමින්ම උදව් කරලා තියෙනවා. ඒ වගේමයි කණ්‌ඩායමේ ක්‍රීඩකයනුත්. ඔහොම යන කොට මට හොඳ සුහදශීලී පුද්ගලයෙකු මුණ ගැසුණා. ඔහු තමයි ඩීන් බ්‍රදර්ස්‌ ආයතනයේ අධිපති නදීප් ඩීන් මහතා. ඒම මහතා මාව ඒ ආයතනයේ වෙළෙඳ සන්නාම තානාපතිවරයා ලෙස බඳවාගත්තා. ඔහු මට සියලු වරප්‍රසාද සහිත වැටුපක්‌ දීලා ලෝකයේ ඕනම රටක තියෙන තරගයක්‌ නරඹන්න යන්න අවස්‌ථාව සලසලා දීලා තියෙනවා. ඒ පිළිබඳව මම ඔහුට විශේෂ ස්‌තූතිය පුද කරනවා.

ක්‍රිකට්‌ වලට අමතරව ඔබව බොලිවුඩ් සිනමා තරුත් සමග සම්බන්ධතා තියෙනවා කියලයි ආරංචිය...?

ඔව්. මම ගොඩක්‌ අයි. පී. එල්. තරග නරඹන්න ගිහිල්ලා තියෙනවා. එහිදී මට සාමාන්‍ය ජනතාවට ළං වෙන්න බැරි සුපිරි තරුවක්‌ වන ශාරුක්‌ ඛාන්, දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ් කියන අය මුණ ගැසිලා තියෙනවා. ඔවුන් අතරින් ශාරුක්‌ කාන් සමග ඔහුගේ කණ්‌ඩායම වන කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ පිල දිරිගන්වලා තියෙනවා.

ශාරුක්‌ ඛාන් කියන්නේ කොයි වගේ කෙනෙක්‌ද...? මොන වගේ දේවල්ද ශාරුක්‌ ඛාන් ඔබ සමග කතා කරලා තියෙන්නේ..?

ඔහුව මට කීප විටෙකම හම්බවෙලා තියෙනවා. ඔහු ඉතාමත් සුහදශීලී මනුස්‌සයෙක්‌. කොච්චර සෙනග ගොඩකදි වුණත් ශාරුක්‌ ඛාන් මාව දැක්‌කොත් Hello.. my Sri Lankan friend කියලා ළගට ඇවිල්ලා මාව බදාගෙන කතා කරනවා. ඔහුත් එක්‌ක මට එක දවසක්‌ උදෑසන ආහාරයක්‌ ගන්නත් අවස්‌ථාවක්‌ ලැබුණා.

මේ දක්‌වා කාලය තුළ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ...?

මම කළින් කිව්වා වගේ ශාරුක්‌ ඛාන් සමග උදෑසන ආහාරය ගැනීමට අවස්‌ථාව අමතක නොවන සිදුවීමක්‌. ඒ වගේමයි ඉන්දියාවේ සංචාරයකදී ඉන්දීය ක්‍රීඩකයන් ඔවුන් සමග රාත්‍රී ආහාරයක්‌ ගැනීම සඳහා මට ආරාධනා කළා. එහිදී මම රෝහිත් ෂර්මාගේ කාමරයට තමයි ගියේ. ඒ වෙලාවෙදි කණ්‌ඩායමේ ගොඩක්‌ ක්‍රීඩකයන් එතෙන්ට ආවා. ආඩම්බර කාරයින් කියලා කියන විරාට්‌ කෝලි මෙන්ම යුවරාඡ් සිං පවා ඒ වෙලාව අපි හිටපු කාමරයට පැමිණියා.

මොනවද ඔවුන් ඔබට කිව්වේ...?

ගොඩක්‌ම ඉතින් මගේ තොරතරු ඔවුන් අහනවා. (සිනහසෙමින්) චියර් කරන විදිහ කරලා පෙන්නන්න කියලා කියනවා. එහිදී යුවරා- මට කිව්වා යුවරා-ට චියර් කරන විදිය කරලා පෙන්නන්න කියලා. ඒ වගේ දේවල් තමයි. 

ඉතිං ඔබ ඒවා කළාද...?

ඔව් ඉතිං. මම කරන දේවල්නේ.

විදෙස්‌ රටවල් ක්‍රීඩකයන් සමගත් සම්බන්ධතා තියෙනවද...?

ඔවු. ඉන්දීය ක්‍රීඩකයන් තමයි මාත් සමග ගොඩක්‌ම හිතවත්. නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ඉඳලා විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ගාම්බීර්, ෂෙවාග්. 

කාත් එක්‌කද වැඩියෙන්ම හිතවත්...?

රෝහිත් ෂර්මා. ඔහු ලකුණු 200 ක්‌ ලබාගත්ත වෙලාවෙ මම ඔහුට කතා කරලා සුබ පැතුවා. ඊට කලින් එංගලන්තයෙsදි අසනීප වුණාමත් මම ඔහුට කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මැච් එකක්‌ ඔහු නරඹමින් සිටියදී ටී. වී. එකේ මාව පෙන්නුවොත් ඒ සැනින්ම ඔහු මට කතා කරලා කියනවා උඹව මම ටී. වී. එකේ දැක්‌ක කියලා.

දිරිගන්වන්ට ගොඩක්‌ අය උදව් කරනවා කියලා මතයක්‌ තියෙනවා. ඔබටත් එහෙම උදව් කරලා තියෙනවද...?

ඉන්දියාවේ සංචාරය කරද්දී මහේන්ද්‍ර සිං දෝනි හම්බවෙච්ච වෙලාවෙ ඔහු මගෙන් පැත්තකට ගිහිල්ලා ඇහුවා ගයාන් ඔයාට මොනවද ඕන. ඕන දෙයක්‌ කියන්න මම කරන්නම් කියලා. නමුත් මම කිසිම අවස්‌ථාවක ඔවුන්ගෙන් උදව් අරගෙන නැහැ. නොම්බරය දීලා තියෙන්නේ ඕන දෙයක්‌ තියෙනවා නම් කතා කරලා ඉල්ලන්න කියලා.

ආදරය ගැන මොනවද හිතෙන්නේ...? 

මගේ අම්මට තමයි මම ගොඩක්‌ම ආදරේ. ඒ වගේමයි මාත් එක්‌ක ඉන්න ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට්‌ රසිකයොන්ට මම ගොඩක්‌ ආදරෙයි. ඔවුනුත් මට ගොඩක්‌ ආදරය කරනවා කියලා මම දන්නවා.

මම ඇහුවේ ඒ ආදරයට වඩා එහා ගිය ආදරයක්‌ ගැන...?

ඒ ආදරය සුන්දරයි කියලා දැනෙනවා. නමුත් ඒ ආදරය තවම අත්විඳලා නම් නැහැ.


චමිල කරවිට
දිවයින පුවත්පතේ මීවිත අතිරේකයෙනි

Share this