උසස් පෙළින් ජයගත්තෝ කියන කතා

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව එක් එක් විෂය ධාරාවන්වල දිවයිනේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවලින් වැඩි ප‍්‍රමාණයක් අත්කර ගැනීමට කොළඹින් බැහැර පාසල්වල සිසු සිසුවියන් සමත්ව සිටිනවා.



ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය දිනා ගෙන ඇත්තේ මාතර සුජාතා මහා විද්‍යාලයේ එච්.ජී හිරුණි උදාරා ශිෂ්‍යාවයි. ගාල්ල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ යසස්වි භාග්‍යානි දේවසිරිනාරායන ශිෂ්‍යාව ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය දිනා සිටිනවා. එම විෂය ධාරාවේ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ත‍්‍රිකුණාමලය ඔර්ස්හිල් විවේකානන්ද විද්‍යාලයේ ශිවකුමාරන් ඉඳුජන් ශිෂ්‍යාටයි.


විද්‍යා විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකර ගත් හිරුණි උදාරා සිය ජයග‍්‍රහණය පිළිබඳ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

වසර දහයක පමණ පාස් පේපර්ස් කළා. හැමදේම කැමැත්තෙන් වගේම කැපවීමෙන් කළා. පාසලට අමතරව අමතර පන්තිවලටත් ගියා. රෑ අට හමාරට නවයට විතර නිදාගෙන උදේ හතරයි තිහට ඇහැරිලා පාඩම් වැඩ කළා... හැමදේටම උදව් කළේ අම්මයි තාත්තායි. මගේ අක්කත් උදව් කළා. මගේ පාසල මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයම උදව් කලා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. 



ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජ් දරුකීසන් සිසුවායි. කොළඹ රාජකීය විද්‍යාලයේ භානුක මලිත් සිල්වා ගණිත විෂය ධාරාවේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින අතර පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ කසුන් ඉමේෂ එම විෂය ධාරාවේ දිවයිනෙන්ම තුන්වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා. 

වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ ගාල්ලේ සවුත්ලන්ඞ් විද්‍යාලයේ පියුමි ධනංජනා ශිෂ්‍යාවයි. තමන් ඉහල ජයග‍්‍රහණයක් අපේක්‍ෂාවෙන් මුලසිටම කටයුතු කළ බව ඇය නෙත් නිවුස් වෙත කියා සිටියා.  

මේ වගේ ජයග්‍රහණයක් ඇත්තටම මම බලාපොරොත්තුවෙන් සිටියා. උසස් පෙළ පටන් ගත්ත ගමන් මම ඒ අරමුණ ඇතිවයි වැඩ කළේ. මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට මම මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ලොකු බරක් හිතට ගත්තේ නැහැ... අවසන් මාස කිහිපයේදී නම් ගොඩක් මහන්සි වෙලා පාඩම් වැඩ කළා. 

පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ රවිඳි රසිඳි ශිෂ්‍යාව වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ගිම්හානි සෙව්වන්දිකා රත්නායක එම විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්ථානය දිනා සිටිනවා. 


කලා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ ශවිඳි නෙත්සලා පතිරණ ශිෂ්‍යාවයි. තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ අයේෂා නිල්මිණි කලා විෂය ධාරාවේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ ගයත‍්‍රි තිවංකා නවරත්න ශිෂ්‍යාව එම විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා. 


Share this