Google ‘SEX’ කිරුළ තුන්වන වතාවටත් ලංකාවට

2012 හා 2013 යන වසරවලදී වැඩිම වාර ගණනක් Google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ ලිංගිකත්වය හෙවත් Sex යන වචනය සෙවූ රට බවට ශී‍්‍ර ලංකාව තේරී පත්වුනා. ඉන් පසුව එය සමාජයේ දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා. එම කිරුළ ගිලිහෙන්නට නොදී රැකගන්නට 2014 වසරේදීත් ශී‍්‍ර ලංකාව සමත්ව තිබෙනවා.
ඒ අනුව මෙවරත් වැඩිම වාර ගණනක් Google වෙබ් අඩවිය ඔස්සේ Sex යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා.

Google වෙබ් අඩවිය වාර්ෂිකව නිකුත් කරන සිය සෙවුම් දත්ත ලැයිස්තුවේ මේ බව සඳහන් වනවා. සෙක්ස් යන වචනය Google ඔස්සේ වැඩිම වාර ගණනක් සොයා ඇත්තේ බස්නාහිර පළාතෙන්.එහි ප‍්‍රතිශතය ද 100% ලෙසයි Google වෙබ් අඩවියේ දැක්වෙන්නේ. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මධ්‍යම පළාතයි.

නමුත් මෙවර Google Sex කිරුළ නුගේගොඩ නගරයෙන් ගිලිහී තිබෙනවා. පසුගිය වසරේ Sex යන වචනය වැඩිම වාර ගණනක් සෙවු පුද්ගලයින් සිටි නුගේගොඩ නගරය පරදවමින් මෙවර එම කිරුළ හෝමාගම නගරයට හිමිව තිබෙනවා. හෝමාගම නගරයට ගියවර හිමිවූයේ දෙවන ස්ථානයයි. එම අගය වර්ධනය කරගනිමින් හෝමාගම නගරය ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.
එමෙන්ම වැඩිම පිරිසක් Sex යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකර ඇත්තේ අපේ‍්‍රල් මස 13 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ බවයි Google වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ.

නවතම වාර්තාවට අනුව Sex යන වචනය යොදා වැඩිම වාර ගණනක් සෙවුම් සිදුකළ රටවල් අතර දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමි ඇති අතර තුන්වැනි ස්ථානයට පසුවන්නේ බංග්ලාදේශයයි. නගර සැලකීමේ දී ප‍්‍රථම ස්ථානය චෙන්නායි නුවරටත්, දෙවැනි ස්ථානය පුනේ නුවරටත් හිමිව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරය එම ලැයිස්තුවේ නම් කර ඇත්තේ සිව්වැනි ස්ථානයටයි. 

Share this