Former Tigers full body checks can not - say US doctors

හිටපු කොටින්ගේ ෆුල් බොඩි චෙකප් බෑ - ඇමරිකානු දොස්‌තරලා කියති



පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කොට ඔවුන් පිළිබඳව වෛද්‍ය වාර්තා සපයා දෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා යාපනයට පැමිණ සිටින ඇමරිකානු වෛද්‍යවරුන්ගෙන් කළ ඉල්ලීම එම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කොට ඇත.

උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප්ගෙන් මුලින්ම මේ පිළිබඳව ඉල්ලීමක්‌ කළ විට ඔහු කැමැත්ත පළ කළ බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් පැවසීය.

තමන් ඒ පිළිබඳව පළාත් සභාවේදී කතා කළ අවස්‌ථාවේදී ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේ ඇමරිකානු තානාපතිවරයා ඊට එකඟ වූ බව යෑයිද එම්. කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඇමරිකානු වෛද්‍ය කණ්‌ඩායම යාපනයේ ඉඩෙයිකාඩු පළාතට පැමිණ වෛද්‍ය සායන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක්‌ පසුගිය සෙනසුරාදා ප්‍රධාන ඇමැතිවරයාගේ ලේකම්වරයා මගින් තමන් විසින් අදාළ ඇමරිකානු වෛද්‍ය කණ්‌ඩායමට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී ඔවුන් පරීක්‍ෂා කිරීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊට හේතු වූ කාරණා විමසූ විට ඇමරිකානු වෛද්‍ය කණ්‌ඩායම පැවැසුවේ තමන්ට එවැනි පරීක්‍ෂණ කිරීම පිණිස අවශ්‍ය පහසුකම් නොමැති බව පමණක්‌ යෑයි ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවැසීය. කෙසේ වෙතත් පුනරුත්ථාපනය වූ සියලුම එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්‌ කිරීමේ කටයුතු උතුරු පළාත් සභාව විසින් කෙසේ හෝ සිදුකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

උතුරු පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් දියත් කොට ඇති එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා විදේශයන්ගේ සහය අවශ්‍ය වේ නම් ඊට උදව් උපකාර කිරීමට විදේශයන් සූදානම් බවද පැවසීය.

උපුටා ගැනීම දිවයින පුවත්පත

Share this