Sri Lanka won by 106 runs aginst Australia

රංගන සඳකැන් පන්දුවෙන් හා කුසල් පිත්තෙන් බැටදී 17වසකට පසුව කැන්ගරුවන් පරදවයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වූ පළමු ටෙස්ට් තරගය ලකුණු 106කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ අවසන් දිනය වූ අද දිනයේ ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගත  හැකි වූයේ ලකුණු 161ක් පමණි. 
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 117ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 203ක් ලබාගැනීමට සමත් වුණා. මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වූ අතර නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. 
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 353ක් ලබාගත්තේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ලකුණු 176ක් සමගින්. මෙන්ඩිස් එම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ පන්දු 254කට මුහුණ දෙමින්. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 21ක් ඇතුළත්. දිනේෂ් චන්දිමාල් ලකුණු 42යි. ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 161කට සියල්ලන්ම දැවී ගියා. එහිදී ස්ටීවන් ස්මිත් ලකුණු 55ක් ලබාගත් අතර අන් කිසිදු ක්‍රීඩකයකු ලකුණු 30 සීමාව ඉක්මවා යයාමට සමත් වූයේ නැහැ. එම ඉනිමේදීද විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් කඩුලු 5ක් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. මීට අමතරව දිල්රුවන් පෙරේරා සහ ධනංජිය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. 
ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් දෙවන ටෙස්ට් ජයග්‍රහණය මෙය වනවා. මීට පෙර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙක් ජයගෙන තිබේ. ඒ මීට වසර 17කට පමණ පෙරයි. 




Share this