Preeti Zinta at the widest victory and defeat for deputies

ජය පරාජය විඳගැනීමට ප්‍රීටි ට බැරිලු

මේ දිනවල පැවැත්වෙන ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරග මාලාවට ‘කිංස් ඉලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් පිල ද ක්‍රීඩා කරනවා. මේ ක්‍රිකට් පිලෙහි සම අයිතිකාරියක් තමයි, සුරූපී නිළි ප්‍රීටි සින්ටා. තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හයේ පහරක් එල්ල කරද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔල්වරසන් දෙන ප්‍රීටි, යම් ක්‍රීඩකයකු දැවී ගියහොත් දැඩි ලෙස කම්පනයට පත්වෙනවා. මෙය හොඳින් දැක ඇති සමහරු පවසන්නේ ජය පරාජය විඳ ගැනීමේ සමබර සිතක් ඇයට නැති බවයි.

මේ අසමබර ගතිය නිසාදෝ ඇය, පසුගියදා පැවැති අයි. පී. එල්. තරග මාලාවේදී තමන්ගේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවාට දැඩි ලෙස දොස් පවරා තිබෙනවා. කිංස් ලෙවන් පන්ජාබ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල් දෙක අතර පැවැති තරගයෙන් කිංස් ලෙවන් පන්ජාබ් පිල පරාජය වූ විට එම කණ්ඩායමේ පුහුණුකරු වන සන්ජේ බන්ගාර්ට තදබල දෝෂාරෝපණයක් ප්‍රීටිගෙන් එල්ල වී තිබෙනවා. ඇතැම් ඉන්දීය මාධ්‍ය පැවසුවේ ප්‍රීටි, ඔහුට පරුෂ වචනයක් ද කියා ඇති බවයි. මේ ආරංචිය මාධ්‍යවල ‘රසවත්’ පුවතක් වෙද්දී වහාම තම මුහුණු පොතෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රීටි සඳහන් කළේ මෙවැනි කටකතා නිර්මාණය කරන්නේ ඇතැම් මාධ්‍යවේදීන් බවයි.

“මම කොතනදිවත් පරුෂ වචන කීවෙ නැහැ. මම ඒ වෙලාවෙ වීරුයි සන්ජේයි එක්ක තත්පර 20 ක වගේ මො‍හොතක් කතා කළා. ඊට පස්සෙ මම, එතන හිටපු විරාට් කෝලිට සුබ පැතුවා. ෂේන් වොට්සන් එක්කත් ටිකක් කතා කරලා මගේ සැමියාත් එක්ක ක්‍රීඩා පිටියෙන් එළියට ඇවිත් කාර් එකේ නැගලා යන්න ගියා. සමහරු කියල තිබුණා මම ක්‍රිකට් ගැන දන්නෙ නෑ කියලා. පහුගිය අවුරුදු 9 පුරාම මම ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ගනුදෙනු කරල තියෙනවා...” ප්‍රීටි මුහුණු පොතේ ඒ සටහන තැබුවා.

Share this