Laggala police firearms incident internal job ?

ලග්ගල පොලිසියේ ගිනි අවි සිද්ධිය ඇතුළේම වැඩක්‌ ?
=====================================
ලග්ගල පොලිස්‌ ස්‌ථානයේ ගිනි අවි සොරා ගැනීමට එම පොලිසියේම නිලධාරීන් කණ්‌ඩායමක්‌ සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව පොලිස්‌ සැරයන්වරයකු සහ කොස්‌තාපල්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඊයේ (17 වැනිදා) සවස්‌ වනවිටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබුණි.

පසුගිය 14 වැනිදා අලුයම පොලිස්‌ ස්‌ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ගිනි අවියක්‌ සහ රිවෝල්වර 05 ක්‌ සොරා ගෙන තිබූ අතර ඒවා සොයා මෙහෙයුම් දියත් කිරීමත් සමඟ එම ගිනි අවි සියල්ලම වැල්ලේවෙල, සඳගල විහාරස්‌ථාන භූමියේ ජල ටැංකියක්‌ අසල දමා තිබියදී 16 වැනිදා හමුවී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්‌ විශේෂ කණ්‌ඩායම් පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ සොරාගත් ගිනි අවි විහාරස්‌ථාන භූමියේ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ගිනිඅවි පැහැරගත් 14 වැනිදා දින රාත්‍රී ලග්ගල පොලිසියේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් තිදෙනකුගේද මේ වන විට වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ලග්ගල පොලිස්‌ ස්‌ථානය තුළ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රාජකාරී කළ පිරිසක්‌ සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අයට එරෙහිව වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස්‌ පරීක්‍ෂක යූ. එම්. ඡේ. එම්. කේ. අමරසිංහ මහතා කටයුතු කර ඇතැයිද හෙළිකරගෙන තිබේ.

වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ සේවය අගය කරමින් ඔහු ලග්ගල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස පත්කිරීමට යන බවට පවතින රාවයකින් පසු එම අවස්‌ථාව අහිමි කිරීම සඳහා පොලිසියේම නිලධාරීන් පිරිසක්‌ එක්‌ව මෙම ගිනි අවි පැහැර ගැනීම සිදුකර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රබල සැකයක්‌ මතුව තිබේ.

පොලිසිය සොයාගත් ගිනිඅවි ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා යොමුකර ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, චමින්ද සිල්වා
දිවයින පුවත්පතිනි

Share this