අඩනිරුවත් දර්ශනවලින් ජනප්‍රිය වෙන්න මට ඕනි නෑ

මම ජනප්‍රිය වෙන්න බලාගෙන නෙවෙයි මේව කරන්නේ

2016 වර්ෂය ආරම්භයයත් සමගම සිරසගොසිප් අපි නවක නිරූපණ ශිල්පීන්ට, ශිල්පිනියන්ට, රංගන ක්ෂේත්‍රයේ නවකයන්ට සහ ඡායාරූප ශිල්පීන් සම්බන්ධයෙන් ලිපි පෙළක් පළ කිරීමට තීරණය කළ බව ඔබ දැනටමත් දැනුවත් ඇතැයි සිතමි. එසේ පළවූ මුල් ලිපිය පසුගිය සඳුදා දිනයේදී පල විය. අද එහි දෙවැන්න පළ වේ. මේ සඳහා අද අප සමග කතා බහට එක් වූයේ මෝස්තර නිරූපණයට පිවිස මේ වන විට රංගනයේ මූලික අඩිය තබමින් සිටින තරුණ නවක නිරූපණ ශිල්පිනියක් වන ගයනි කළුපහනගේයි. 

ගයනි අපි කැමැතියි මුළින්ම ඔයා ගැන දැන ගන්න. අපිට කියනවාද ඔයා ගැන විස්තරයක්. 
මම ගයනි කළුපහනගේ. ඉන්නේ මහරගම... නිරූපණ ක්ෂේත්‍රයට ආදරය කරන කෙනෙක්. 

ගයනි කියන්නේ මොන වගේ චරිතයක්ද?
හරිම සරල චරිතයක්... කාගේවත් හිත රිදවන්න අකමැති චරිතයක්... මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න තමයි කැමැති.

ගයනි පාසල් ගියේ කොහේටද? සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම කලේ එකම පාසලේද? ඒ ගැන විස්තර ටිකක් කියමුද?
මම එක වසරේ සිට පහ වසර දක්වා ඉගෙනුම ලැබුවේ මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම මම ගෝතමි මව් සෙවනේදී තමයි කළේ. 
උපන් දිනය/වයස කැමැති නම් කියමුද?
මගේ උපන් දිනය ජුලි මාසේ 17 වැනිදා. වයස ඕනි නැහැනේ... ගැහැනු ළමයි වයස කියන්න කැමැති නැහැනේ. 

පවුලේ කවුද තව ඉන්නේ.
අම්මා, තාත්තා සහ අයියා.

ඔවුන් මොනවද කරන්නේ.
තාත්තා ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටිනවා. මව ගෘහණියක් ලෙස කටයුතු කරනවා. අයියා විවාහ වෙලා වෙනමම පදිංචි වෙලා ඉන්නේ. මමයි අම්මයි තාත්තයි තමයි දැන් නිවසේ ඉන්නේ. 

පොඩි කාලේ ඉඳන්මද මෝස්තර නිරූපණයට රංගනයට එකතු වුණේ. 
නැහැ... මීට වසර දෙක හමාරකට විතර කලින් තමයි මම මෙම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. 

ඇයි මෝස්තර නිරූපණයට එකතු වෙන්න හිතුවේ. 
මෝස්තර නිරූපණය කරන්න හිතන් හිටපු කෙනෙක් නෙවෙයි මම. ඒක කාලයත් එක්ක වෙනස් වෙලා අද වෙද්දි මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්නවා. 

මුලින්ම මොස්තර නිරූපණ ශිල්පිනියක්/රංගන ශිල්පිනියක් ලෙස එක්වූයේ කුමකටද? 
වෙළෙඳ දැන්වීමකට දායක වුණා. සහාය නිරූපිකාවක් ලෙසට.

මේ මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයට එකතු වීමේදී ඔබට උදව් කරන්නේ කවුරුන්ද? 
මේ වෙද්දි මට උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය මට නිරූපණ කටයුතුවලට අවස්ථාව දුන් නිසා තමයි මම යමක් කරලා තියෙන්නේ. මගේ පවුලේ සියලු දෙනාම ගොඩක් උදව් කරනවා. ඒ වගේම නිර්මාණවලට මාව සම්බන්ධ කර ගත් සියලු දෙනාම ගොඩක් උදව් කරනවා. නම් නොකිව්වත් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද නම් වශයෙන් කියන්න ගිහින් එක් අයෙක්ගේ හෝ නමක් අමතක වුණොත් ඒක ඒ කෙනාට කරන අසාධාරණයක්. ඒක නිසා නම් වශයෙන් නොවුණත් මට උදව් කරන සියලු දෙනා ගැනම මගේ හදවතේ රැඳිලා ඉන්නවා. 

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්මාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා. අම්මා තමයි හැමදේටම මගේ ළඟින් ඉන්නේ. ඒ වගේම තාත්තා, අයියා... මේ හැමෝම මගේ නිර්මාණ බලලා මාව දිරිමත් කරනවා. මගේ ඥාතීන් සියලු දෙනාත් මට දෙන සහයෝගය ගොඩක් වටිනවා. ඒක වචනවලින් කියලා නිම කරන්න බැහැ. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. 

මෝස්තර නිරූපණයේ අමතක නොවන සිදුවීම් මොනවද?
හැම සිදුවීමක්ම අමතක නම් වෙන්නේ නෑ. ඒත් එක මියුසික් වීඩියෝ එකක මම මැරුණට පස්සේ මාව බිම දිගේ ඇදගෙන යන කොටසක් තිබුණා. ඒ කොටස රූගත කරලා ඉවර වෙද්දී මගේ කකුල් දෙකම නෑ වගේ. ඒ සිදුවීම නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ මට. 

මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයෙන් දායක වූ දවස මතකද?
ම්ම්ම්... ඔව්... ඒ 2013.06.02 වැනිදා... 

මේ වන විට ඔබ රංගනයෙන් දායකවී ඇති දේ මොනවාද?
තාරක මහානාම විසින් කරපු කෙටි චිත්‍රපටයක (Short Film) ප්‍රධාන චරිතය නිරූපණය කළා. මේ වෙද්දී මියුසික් වීඩියෝස් හතරකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඉන් තුනක ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එකක සහාය චරිතයක් නිරූපණය කරනවා. ඩිල්ෂාන් වීරසිංහ ගයන අලුත්ම ගීතය වන සැමරුම් පොතේහි මියුසික් වීඩියෝව ඉන් එකක්. එය මේ දිනවල ප්‍රචාරය වෙනවා. ඒ වගේම නලීන් ලියනගේ ගයන බිඳුවක් පැතුම් යන ගීතයේ මියුසික් වීඩියෝව සඳහාද ප්‍රධාන චරිතයකින් දායක වුණා. ඉදිරියේදී ඒ නිර්මාණ දැකගන්න පුළුවන්. ඒ වගේම මම DVD චිත්‍රපටයකට දායක වී සිටිනවා. මේ දිනවල එහි රූගත කිරීම සිදු කෙරෙමින් පවතිනවා. වෙළෙඳ දැන්වීම් සඳහාත් දායක වෙලා තියෙනවා. මේ හැමදේටම උදව් කළ සියලුම දෙනාට හදවතින්ම ස්තුති කරන්න කැමැතියි මම. 

ඔබ මෝස්තර නිරූපණය, රංගනය පිළිබඳ ඉගෙන ගෙන තිබේද? ඒ කා යටතේද?
මට නිරූපණය ගැන මුලින්ම යමක් කියලා දුන්නේ හේලී (Heylee Perera) අක්කා. ස්තුතිවන්ත වෙනවා මම හේලී අක්කට. පසුගිය වසරේදී (2015දී) මම ඉමායා ලියනගේ යටතේ නිරූපණය ගැන ඉගෙන ගන්න යොමු වුණා. නැවතත් ප්‍රවිණයෙක් යටතේ ඉගෙන ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. 

ඔබට ෆේස්බුක් ගිණුමක් හෝ ෆෑන් පේජ් එකක් තිබේද?
ෆේස්බුක් ෆෑන් පේජ් එකක් නම් තවම නෑ. ඒත් මට ගොඩක් හොඳ හරිම ආදරණීය ෆෑන්ස්ලා සහ ආදරණීය යහළුවන් පිරිසක් ඉන්නවා ෆේස්බුක් එක හරහා. ගයනි කළුපහනගේ නමින් තමයි මගේ ෆේස්බුක් ගිණුම තියෙන්නේ. 

දැන් බොහෝ ජනපි‍්‍රය රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් නගන චෝදනාවක් තමයි තමන්ට ෆේස්බුක් ගිණුමක් නැති වුණත් යම් යම් පිරිස් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා ඇති බවට. ඔබ මෙම අත්දැකීමට මුහුණ පා තිබේද?
මගේ නමින් නම් තාම තියෙන්නේ එක ෆේස්බුක් ගිණුමක් විතරයි. මගේ ෆොටෝස් දාලා ෆේස්බුක් ගිණුම් හදලා තිබුණා. ඒත් දැන් ඒව අවලංගු වෙලා. අපිට වඩා ගොඩක් ජනප්‍රිය ශිල්පීන්ට ලැබෙන අත්දැකීමක් ඒක. 

ඔබ ටෙලි නාට්‍ය හෝ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට එක්වීමට ඇති බලාපොරොත්තුව කොහොමද? දැනට එලෙස ආරාධනා ලැබිලා නැත්ද?
බලාපොරොත්තුවක්ම කියලා නෑ. ඒත් මම ආසයි ජනප්‍රිය වෙනවට වඩා දක්ෂ විදියට රංගනයෙන් නිර්මාණයකට දායක වෙන්න තියෙනවා නම්... අවස්ථාවක් ලැබුණොත් යොමු වෙනවා. ඉදිරියේ කෙරෙන නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. 

මෝස්තර නිරූපණයේදී එල්ල වන චෝදනාවක් තමයි ඇතැම් නිරූපිකාවන් අඩනිරුවත් දර්ශනවලට පෙනී සිට ජනපි‍්‍රය වීමට උත්සාහ ගන්නා බවට. ඔබට එවැනි චෝදනා එල්ල වී තිබේද?
අනේ නෑ... මම ජනප්‍රිය වෙන්න දඟලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ජනප්‍රිය වෙන්න කියලා හිතලා කිසිම දෙයක් කරන්නේ නෑ මම. කවුරුත් චෝදනා නම් කරලා නෑ මට.

යම් ලෙසකින් ඔබට එවැනි නිරූපණයක් කිරීමට ආරාධනාවක් ලැබුණහොත් ඔබ දක්වන්නේ කුමන ආකාරයේ ප‍්‍රතිචාරයක්ද?
මම ඒ වගේ නිරූපණ කටයුතු කරන්නේ නෑ. ඒ නිසා මම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. 

අනෙක් කාරණය තමයි මෝස්තර නිරූපණ මෙන්ම රංගන ක්ෂේත‍්‍රයේදී ඇතැම් නිෂ්පාදකයින්, අධ්‍යක්ෂකවරුන් නවක නිරූපිකාවන්ගෙන් හා නවක රංගන ශිල්පිනියන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස. 
ගොඩක් අය මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය කරන්නම් කියලා නිරූපිකාවන් සඳහා ඒ වගේ යෝජනා ගේනවා. ඒත් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ හැකියාවෙන් යමක් කරන්න පුළුවන් නම් කාගේවත් අල්ලස්වලට යටත් වෙන්න ඕන නෑ. හැබැයි ඒකට සුදුස්සාට  සුදුසු තැන දෙන්න ඕනි. 

ඔබ රඟපැම හෝ මෝස්තර නිරූපණය ඔබගේ ස්ථීර වෘත්තියද? නැතිනම් වෙනත් වෘත්තිය නියැලීමට බලාපොරොත්තුවක් තිබේද?
නෑ... ස්ථිර වෘත්තීය නෙවෙයි. මම විනෝදාංශයක් විදිහට තමයි මේ හැමදේම කරන්නේ. 

යම් නිෂ්පාදකයකුට හෝ අධ්‍යක්ෂවරයකුට හෝ ඡායාරූප ශිල්පියෙකුට ඔවුන්ගේ නිර්මාණයක් සඳහා ඔබ සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද ඔබ සම්බන්ධ කර ගත හැක්කේ. 
මගේ ෆේස්බුක් ගිණුම හරහා තමයි බොහෝ දෙනා මාව සම්බන්ධ කර ගත්තේ. ගයනි කළුපහනගේ කියන නමින් තමයි මගේ ෆේස්බුක් ගිණුම තිබෙන්නේ. ඒවගේම මගේ ඊමේල් එක හරහාත් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. මගේ ඊමේල් එක dkalupahanage@yahoo.com මේ දෙක හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

ඔබේ අනාගත බලාපොරොත්තු? 
හොඳ නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා සාර්ථකව කර ගන එක තමයි අරමුණ. ඒ වගේම නිරූපණය හා රංගනය ගැන හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. 

අවසාන වශයෙන් සිරසගොසිප් සිදුකරන මෙම නවක නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් සහ ඡායාරූප ශිල්පීන් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
නිරූපණ හා රංගන ක්ෂේත්‍රයේ නවකයින්ට මේක ලොකු අත්වැලක්. නවකයින් වෙනුවෙන් මේ වගේ දේවල් කෙරෙනවා බොහොම අඩුයි. මම සිරසගොසිප් සඳහා ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබාදීම ගැන. ඒ වගේම මට අවස්ථාවන් ලබාදෙමින්, අඩුපාඩු පෙන්වාදෙමින් දිරිමත් කිරීමෙන් හා මා අගය කළ නොකළ සියලු දෙනාටත්, වචනයකින් පවා මට උදව් කළ සියලුම දෙනාට වගේම මගේ නිර්මාණ බලන ෆේස්බුක් හරහා කොමෙන්ට්, ලයික් එකකින් පවා මට ශක්තියක් වුණ මගේ යහළුවන් සියලුම දෙනාටත් මම හදවතින්ම ගොඩක් ආදරෙන් ස්තුති කරන්න කැමැතියි. 

නිරූපණ ශිල්පිනිය සම්බන්ධීකරණය ඉමේෂ් නුවන්දක

ගයනි එක්ක සිරසගොසිප් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න. 




ගයනිගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න 






Share this