ටේලර් ස්විෆ්ට්ට කුරුල්ලන් බයවෙලා

ඩොටරල් බර්ඩ්ස් ලෙස හැඳින්වෙන අහිංසක කුරුල්ලන් සමූහයක් සුපිරි ගායිකාවකට බිය වී සිටින බවක් නවසීලන්තයෙන් ආරංචි වුණා. ඩොටරල් බර්ඩ්ස්ලා බිය වුණේ සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ටයි. ඇය ගැයූ ගීතයකට නම් නොවෙයි. ඇගේ අලුත්ම ගීතයකට වීඩියෝ දර්ශන පෙළක් රූගත කළ මොහොතකදීයි.

ටේලර් ස්විෆ්ට්ගේ මීළඟ නිර්මාණය වන ‘අවුට් ඔෆ් වුඩ්ස්’ ගීතයේ වීඩියෝ රූගත කිරීම් සිදුවුණේ නවසීලන්තයේ බෙතල්ස් මුහුදු වෙරළේදීයි. මේ සඳහා අවසර ලබා ගත යුතුයි. ඒ නිසා මේ සුපිරි ගායිකාව ඕක්ලන්ඩ් සංචාරක සහ ආර්ථික කටයුතු අධිකාරියෙන් අවසර ගත්තා. ඇයට එම අවසරය ලබා දෙමින් ඒ ආයතනය දැන්වූයේ රූගත කිරීම් උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් සිදු කරන ලෙසයි. මේ සඳහා එම ස්ථානයට වාහන 2කට වඩා රැගෙන නොඑන ලෙස ද ඇයට දැන්වූවා. එහෙම වුණත් ටේලර් ස්විෆ්ට් ඇතුළු කණ්ඩායම බෙතල්ස් මුහුදු වෙරළට පැමිණියේ ට්‍රක් රථ ඇතුළු වාහන රැසක් සමඟයි. රූගත කරන කණ්ඩායමත් විශාල පිරිසක්. මේ හේතුවෙන් එතැන මතු වුණේ කලබලකාරී පරිසරයක්.

මෙයට එරට පරිසරවේදීන් විරෝධය ප්‍රකාශ කළා. නවසීලන්ත රජයේ නිලධාරීන් පැවසුවේ මේ රූගත කිරීමෙන් ඩොටරල් කුරුලු පැටවුන්ට හානියක් සිදුවූ බවයි. ඩොටරල් කුරුල්ලන්ගේ කූඩු බහුලව එම ප්‍රදේශයේ දකින්න පුළුවන්.













Share this