මිනිසාගේ පහසුව පිණිස නිර්මාණය කරගත් රොබෝ යන්ත්රයක් මිනිසෙකු ඝාතනය කිරීමේ පුවතක් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරින් වාර්තා වනවා. එරට පිහිටි සුප්රසිද්ධ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවේදී සිදුවුනු මෙම සිදුවීමෙන් 22 හැවිරිදි සේවකයකු අවසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
එහිදී මෙම රොබෝ යන්ත්රය මෝටර් රථයේ උපාංගයක් යැයි සිතා වැරදීමකින් මෙම සේවකයා සිය අඩුව මගින් අල්ලා යකඩ තහඩුවකට තදකර තිබෙනවා. එලෙස තද කිරීම හේතුවෙන් ඊළඟ තත්පරයේදී ඔහු මරණයට පත්ව ඇතැයි වොක්ස්වැගන් සමාගම පවසනවා. මෙම පුද්ගලයා කර්මාන්ත ශාලාව සඳහා එම රොබෝ යන්ත්රය සවිකරමින් සිටියදී මෙම හදිසි අනතුර සිදුව ඇතැයි පැවසෙනවා.
ඒ අනුව මේ අත්වැරදීම සඳහා රොබෝ යන්ත්රයට වඩා පැහැදිළිවම මිනිස් අත්වැරැද්දක් හේතු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම එකලස් කිරීමේ අංගනය සඳහා යොදා ගන්නා මෙවැනි රොබෝ වෙත විවිධ ක්රියාවන් සිදුකිරීම සඳහා වැඩසටහන් ලිවීමට හැකියාව පැවතීම ඊට උදාහරණ ලෙස වොක්ස්වැගන් සමාගම පෙන්වා දෙනවා.
එසේම මෙම අනතුර අවස්ථාවේදී එම ස්ථානය ආසන්නයේ තවත් පුද්ගලයකු සිට ඇති අතර ඔහුට රොබෝවෙන් හානි සිදු නොවීම හරහා එහි වැරැද්ද පිළිබඳව පැහැදිළි වන බවත් ඔවුන් කියා සිටිනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධ තොරතුරු අනාවරණය කිරීමෙන් වොක්ස්වැගන් සමාගම තවදුරටත් වැලකී සිටින අතර ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම මූලික හේතුව ලෙසිනද සැලකෙනවා.