රයිගම් ටෙලීස්හිදී ඇඬූ හේතුව සාරංගගේ බිරිඳ උමාලි හෙළි කරයි

ගෙවුණු සතියේ පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී ජනප්‍රියම නළුවා වුණේ සාරංග දිසාසේකර. හොඳම නළුවා සම්මානයටත් සාරංගගේ නම නිර්දේශ වුණත් සාරංගට ඒ සම්මානය අහිමි වුණා. ඒ මොහොතේ සාරංගගේ ආදරණීය බිරිඳ උමාලි තිලකරත්න බොහොම සංවේදී වුණු බවට සාක්ෂි දරන ඡායාරූප පෙළක් සාරංගගේ ෆේස්බුක් පිටුවට එකතු වෙලා තිබුණා. උමාලි අපට කියපු ඒ පින්තූරවල කතාවයි මේ.

රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී ඇඬුවා කියන්නේ ඇත්තද?

ඇඬුවා නමෛයි ඇඬුණා කිව්වොත් තමයි හරි. හැබැයි මට ඇඬුණේ සාරංගට හොඳම නළුවා සම්මානය ලැබුණේ නැති නිසා නෙවෙයි. සම්මානය ගැන බලා‍පොරොත්තුවටත් වඩා නිර්දේශ වුණු එක ගැනම සතුටිනුයි අපි හිටියේ.

එතකොට මොකක්ද එතැනදී වුණේ?

මෙහෙමනේ, සාරංග හොඳම නළුවා සම්මානයට නිර්දේශ වෙලා ඉන්න බව කොහොමටත් දැනගෙන හිටියනේ. ඒ “සුළඟ මත මොහොතක්” කියන නාට්‍යයේ අසංග කියන චරිතයට. හොඳම නළුවා සම්මානය දෙන්න ලෑස්ති වෙලා නිර්දේශිත නම් කියෙව්වා. ඒ ඒ චරිතවල පුංචි කොටස ගානෙත් පෙන්නුවා. ඒ වෙලාවේ හදිසියේම මගේ හිතට දැනුණා සම්මානය හම්බ වෙන්නේ සාරංගට නමෛයි කියලා. ඒ වෙද්දී විශ්වජිත් අයියගේ නමවත් කියවිලා තිබුණේ නැහැ. ඒත් මට ඇඬුණා. ‘This is When I didn’t win Best Actor Award’ කියලා සාරංග ෆේස්බුක් එකේ දාලා තියෙන්නේ ඒ වෙලාවේ ගත්තු පින්තූර.

අඬන්න කලින් හොඳට හිනාත් වුණානේ ?

හොඳම නළුවා සම්මානයට කලින්නේ ජනප්‍රියම නළුවාට සම්මාන දුන්නේ. හැමදාම වගේ අපේ ගෙදර සම්මාන රාක්කේ පිරිලා තියෙන “ජනප්‍රියම නළුවා” සම්මාන ගොඩට තවත් සම්මානයක් එකතු වුණා. ඒකට මට ඇත්තටම සතුටුයි. ප්‍රේක්ෂක ආදරය හැමදාම කෙනකුට එකම විදියට හම්බවෙන්නේ කලාතුරකින්නේ.

ජනප්‍රිය නළුවා සම්මානය ලැබුණු හැටියෙම සාරංග පුදුම කරවන්නත් උමාලිට පුළුවන් වුණා.?

ජනප්‍රිය සහ හොඳම නළුවා කියන සම්මාන දෙකටම සාරංගගේ නම නිර්දේශ වෙලා තිබුණු නිසා අම්මා මට මල් එකක් ගෙනැත් දීලා කිව්වා සම්මානෙ හම්බ වුණාම ඒක ගිහින් දෙන්න කියලා. හැබැයි හරි අමාරුවෙන් තමයි මම මල් එක ගිහින් දුන්නේ.

සාරංග ළඟට කිට්ටු වෙන්න ඔය තරමට අමාරු වුණේ ඇයි?

එදා සම්මාන උත්සවේට ආපු අය එක්ක කතාබහ කරලා අදහස් අහන නිවේදන කටයුත්තක් මට පැවරිලා තිබුණා. ඒ නිසා මම හිටියේ උත්සව ශාලාවෙන් එළියේ. සාරංගනේ උත්සවයේ නිවේදනය කළේ. ඒ නිසා සාරංග හිටියේ වේදිකාවේ. ජනප්‍රිය නළුවාට සම්මානය දෙන්න ලෑස්ති වෙද්දී මාත් එක්ක නිවේදන කටයුතු කරපු මල්ලි කිව්වා “අක්කේ, අයියාට සම්මානේ හම්බ වේවි ඔයා ඇතුළට යන්න කියලා” ඒ වෙලාවේ නම් මට දැනුණා සාරංගට සම්මානේ හම්බ වේවි කියලා. ඒ නිසා මම මල් එකත් අරගෙන ඇතුළට ගියා. එතකොට හැමෝම කියලා කියලා මාව වේදිකාව ළඟටම යැව්වා. ඒ වුණාට මල් එකකුත් අතේ තියාගෙන වේදිකාව ළඟ හිටපු මාව සාරංග දැක්කේ නැහැ.

ඒ නිසා සාරංග උමාලිව හෙව්වා කියලාත් ආරංචියි?

සම්මානෙ හම්බ වුණු වෙලාවේ සාරංගත් එක්ක නිවේදන කටයුතු කරපු සඳමාලි අක්කා ඇහුවා “වෙනදා නම් සම්මානෙ ගිහින් දෙන්නේ අම්මාට අද දෙන්නේ වෙන කාට හරිද” කියලා. ඒ වෙලාවේ සාරංග කිව්වා සම්මානෙ අතට දෙන්න ඕන කෙනා කිට්ටුව තැනක නැතුව ඇති කියලා. එතකොටත් මම එතැනමයි හිටියේ. ඒ වුණාට එයා දැක්කේ නැහැ. එයා හිතුවේ මම එළියේ නිවේදන වැඩ ටික ඉවර කරලා එයාගේ අම්මාගේ සීට් එකේ ඇති කියලා. ඒ සීට් එක තිබුණේ උඩ. අම්මලා දෙන්නා හිටියේ අපි දෙන්නට හම්බ වුණු සීට්වල කියලා එයා දැනගෙන හිටියා.

පස්සේ සාරංග කොහොමද උමාලිව සොයා ගත්තේ?

වේදිකාවේ ඔය කතාව යන අතරේ වේදිකාව ළඟ හිටපු මාව එක කැමරාවකින් පෙනුණා. ඒ රූප රාමු වේදිකාවේ තියෙන පුළුල් තිරයෙනුත් පෙන්නුවා. ඒත් සාරංග හිටියේ තිරයට පිටුපාලා. ඒ නිසා ඒ වෙලාවෙත් එයා මාව දැක්කේ නැහැ. සඳමාලි අක්කා තමයි මාව දැකලා පෙන්නුවේ. එතකොට මම වේදිකාවට ගිහින් මල් එක දීලා සුබ පැතුවා. ඒ වෙලාවේ සාරංග මගේ අතට ඒ සම්මානේ දුන්නා.

උමාලිගේ ඉස්සරහදී සාරංග සම්මානයක් ගත්තු මුල් වතාවද මේ?

එක සුමති සම්මාන උළෙලකදී නැගී එන නළුවා සම්මානය හම්බ වුණා. ඒ දවස්වල අපි යාළුවෙලා හිටපු කා‍ලේ නිසා ප්‍රසිද්ධියේ සුබපතන්න ගියේ නැහැ. හැබැයි පස්සේ මම රතු රෝස මලක් දුන්නා. හැමදාටම තියාගන්න පුළුවන් විදියේ රතු රෝස මලක්. ඒ මල අදටත් තියෙනවා.

ජනප්‍රිය සම්මානෙයි හොඳම නළුවා සම්මානෙයි දෙකම එක පාර සාරංගට ලැබුණා නම්?

ඔය සම්මාන දෙකම එකම කෙනකුට හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. එකම සම්මාන උළෙලකදී ඒ සම්මාන දෙකටම නිර්දේශ වීමම මට හරියට වටිනවා. ඒකට ලොකු සතුටක්. මම සතුටුවෙනවා වගේම පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා.

Share this