නෙළුම් කුළුණ ඉන්දියාවට තර්ජනයක් බව ඉන්දියානු උපාය මාර්ග විශ්ලේෂකයෙක් කියයි

සංචාරක ප‍්‍රවර්ධන සහ සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් චීන ආරක්‍ෂක සමාගම් දෙකක මැදිහත් වීමෙන් ශ‍‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ශ‍්‍රවණ මුරපොළක් ඉදිකරමින් සිටින බව ඉන්දියානු උපාය මාර්ග විශ්ලේෂකයෙක් පෙන්වා දී ඇත.

කොළඹ නගරයේ ඉදිකරමින් පවතින නෙළුම් කුළුණ පිළිබඳ විශ්ලේශණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉන්දීය විශ්ලේෂකයා කියා සිටින්නේ මෙය ඉලෙක්ට්‍රොනික ඔත්තු සේවා පහසුකම් ස්ථානයක් බවට සැකයක් නොමැති බවයි.

ඔහු අවධාරණය කරන්නේ චීන ආරක්‍ෂක සමාගම් දෙකක් විසින් ඉදි කිරීමට නියමිත පැරීසියේ ‘අයිෆල් කුළුණට වඩා මීටර් 26 ක් උසින් වැඩි, දකුණු ආසියාවේ උසම කුළුණ, එක් පසෙකින් ඉන්දීය සාගරයද, අනෙක් පසින් ඉන්දියාවද ආවරණය කිරීමට’ සමත් බවය.

ඉන්දියානු ඔත්තු සේවා, හමුදා සහ රාජ්‍ය තාන්ත‍්‍රික දූත සේවාවන්හි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් වන දකුණු ආසියානු විශ්ලේෂක කණ්ඩායමේ (South Asia Analysis Group – SAAG) නිල වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරමින් නවදිල්ලියේ වෙසෙන උපාය මාර්ගික විශ්ලේෂකයකු වන භෂ්කර් රෝයි විසින් මෙම අනාවරණය සිදු කොට තිබේ.

කුළුණේ ඉදිකිරීම් අවසන් කිරීමට ඉඩ ලබාදුනහොත් එය ඉන්දියන් සාගරයේ මෙන්ම දකුණු ආසියාවේද ආරක්‍ෂාවට තර්ජනයක් වනු ඇති බවට රෝයි අනතුරු අඟවා ඇත.

Share this