දේශපාලනඥයකු ලෙස බැසිල් හිරේ ගියාට කමක්‌ නෑ

ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහන 23 වැනිදා අවසන්. බැසිල් අත්අඩංගුවට ගත්තා. හිර ගෙට යෑව්වා. දේශපාලනඥයෙකු වශයෙන් බැසිල් රාජපක්‍ෂ හිරේ ගියාට කමක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

තමන්ද මාස තුනක්‌ හිර ගෙදර සිටි බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනඥයකු වශයෙන් මෙවැනි අත්දැකීමක්‌ ලැබීම නරකක්‌ නොවන බවද පැවසීය.

මාතලේ පුරිඡ්ජල ශ‍්‍රී ධම්මසිද්ධ්‍යාරාම ශ‍්‍රී සංඝබෝධි පිරිවෙන් විහාරස්‌ථානයේ නව දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ අවස්‌ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (23දා) සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස්‌ පළ කළේය.

බෞද්ධයකු ලෙසට කිසිදු ආගමකට වෙනසක්‌ නොකළ බවත් වෛරී දේශපාලනයෙන් බැහැරව කටයුතු කරන බවත් පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා නීතිපතිවරයාගේ උපදෙස්‌ නොමැතිවම රාජපක්‍ෂවරුන් හිරගෙට යෑවීමට යහපාලන ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බවද පැවසීය.

23 දා වෙනකොට ආණ්‌ඩුවේ දින 100 අවසන් වුණත් අහන්න දකින්න ලැබුණේ පැමිණිලි. රටේ සංවර්ධනය නැවතිලා. මුහුදේ ඉදි කළ නගරයේ ඉදිකිරීම් නැවතිලා. උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නැවතිලා. තරුණ තරුණියන් රස්‌සාවල්වලින් දොට්‌ට දාලා. ආර්. ඞී. ඒ. එකේ රැකියා අහිමි වූවන්ට මහ පාරෙ කොස්‌ තම්බල අවුරුදු කන්න සිද්ධ වුණා. මේ කාගෙන්ද පලි ගන්නේ? සමාජයෙන් කුරිරු යුද්ධය අපි අවසන් කළා. එදා යුද්ධයට යන්න තරුණයෝ ඉදිරිපත් වුණේ නෑ. ගියොත් මැරෙනවා. ඇයි තුවක්‌කුව තිබුණත් පතරොම නැති තත්ත්වයක්‌ තිබුණේ. මම සියල්ල වෙනස්‌ කළා. යෝෂිත නාවික හමුදාවට බැන්දෙව්වා. හමුදාවට අවශ්‍ය පහසුකම් දුන්නා. කුරිරු යුද්ධය දිනුවේ ඒ විදිහටයි.

යුද්ධය ජයග‍්‍රහණය කිරීමට උරදුන් රාජපක්‍ෂවරුන් දැන් හිරගෙට යවන්නයි යහපාලන ආණ්‌ඩුව හදන්නේ. සමෘද්ධිලාභීන්ට සල්ලි දුන්න කියලා බැසිල් අත්අඩංගුවට ගත්තා. රිමාන්ඞ් එකට යෑව්වා.

මාසයක්‌ නෙවෙයි මාස තුනක්‌ නොවෙයි මාස හයක්‌ හිරේ ගියත් කමක්‌ නෑ. මමත් මාස තුනක්‌ හිර ගෙයි හිටිය කෙනෙක්‌. දේශපාලනඥයෝ වශයෙන් මෙවැනි අත්දැකීමක්‌ තියෙන්නත් ඕනෑ.

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපානේ පේමසිරි හිමියන් ඇතුළු සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා, රෝහණ දිසානායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ආචාර්ය ටී. ඞී. ජයතිස්‌ස එල්. ඩබ්ලිව්. නිමලසිරි යන මහත්වරුන් හා මාතලේ පුරපති මොහමඞ් හිල්මි මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

Share this