2070 දී ලොව බහුතරය මුස්‌ලිම් - 2050 දී හින්දුන් තෙවැනි තැනට

වර්ධන වේගය අඩුම ආගමිකයන් බෞද්ධයන්ය

ලෝක ජනගහනය වේගයෙන් ආගම කෙරෙහි ඇදී යැමේ ප්‍රවණතාවයක්‌ ඇතිව තිබේද? ආගමක්‌ අදහන්නේ නැති අදේවවාදීන් මෙන්ම නාස්‌තිකවාදීන්ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතීද? Pew Reserch Center නම් සංවිධානය විසින් මෑතදී පවත්වනු ලැබූ සමීක්‌ෂණයක්‌ අනුව 2050 දී ලෝක ආගමික තත්ත්වය ගැන විශේෂ තොරතුරු රැසක්‌ අනාවරණය වී තිබේ.

2010 වසරේ දත්ත අනුව ලොව වෙසෙන ජනගහනයෙන් 16% ක්‌ තමන් ආගමක්‌ අදහන්නේ නැති බව ප්‍රකාශ කළ ද 2050 දී එම ප්‍රමාණය 13% දක්‌වා පහළ බැසීමට නියමිතය. මේ සමීක්‍ෂණ වාර්තා අනුව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආගම වන්නේ මුස්‌ලිම් ආගමයි. 2010-2050 ඇතුළත මුස්‌ලිම් ආගමිකයන්ගේ වර්ධනය 73% කි.

මෙම සමීක්‍ෂණය සිදු කළ සංවිධානය රටවල් 175 ක ජනගහන දත්ත හා සංඛ්‍යාලේඛන උපයෝගී කරගෙන තම වාර්තාව එළිදක්‌වා ඇත. 2050 දී ලෝක හින්දු ජනගහනය වේගයෙන් වර්ධනය වන බව මෙම වාර්තාව කියයි. 2050 දී ඉන්දියාව හින්දුන් බහුතරය වෙසෙන රට වෙනවා සේම ලොව වැඩියෙන්ම මුස්‌ලිම්වරුන් වෙසෙන රට ද වන්නේය.

වර්තමානයේ ලොව වැඩියෙන්ම මුස්‌ලිම්වරු වෙසෙන රට වන්නේ ඉන්දුනීසියාවයි. නමුත් 2050 දී එම කිරුළ හිමිවන්නේ හින්දු ඉන්දියාවටය. 2050 වසරේදී ලෝක ජනගහනයෙන් හින්දු ප්‍රතිශතය 14.9 ක්‌ වන අතර ඒ අනුව හින්දුන් ලොව තෙවැනි විශාලතම ආගමික කණ්‌ඩායම වේ.

වර්තාමානයේ හින්දුන්ට හිමිවන්නේ සිව්වැනි ස්‌ථානයයි. මන්ද ආගමක්‌ අදහන්නේ නැති පිරිස තෙවැනි තැන දිනා සිටින නිසාය. නමුත් 2050 දී මෙය වෙනස්‌ වන්නේ 2010-2050 කාලය තුළ හින්දු ආගමිකයන්ගේ වර්ධනය 34% ක ප්‍රමාණයකින් ඉහළ යන නිසාය. මෙම සමීක්‍ෂණයට අනුව මුස්‌ලිම් ආගමිකයන්ගේ වේගවත් වර්ධනයට හේතුව වන්නේ එම කාන්තාවන් වැඩියෙන් දරුවන් බිහිකිරීම නිසාය. 

සාමාන්‍යයෙන් මුස්‌ලිම් කාන්තාවන් අවම වශයෙන් දරුවන් තිදෙනකුවත් බිහිකරයි. මේ වාර්තාවට අනුව මුස්‌ලිම් කාන්තාවන්ගේ සරුභාවය (දරුවන් බිහිකරීමේ හැකියාව) 3.1 කි. එමෙන්ම මුස්‌ලිම් ජනගහනයෙන් 34% ක්‌ අවුරුදු 15 ට අඩුය. හින්දු කාන්තාවන්ගේ සරුභාවය 2.4 ක්‌ වන අතර යුදෙව් කාන්තාවන්ගේ 2.3 ක්‌ ද බෞද්ධ කාන්තාවන්ගේ 1.6 ක්‌ ද වේ. පිව් වාර්තාවට අනුව 2070 දී ලොව බහුතර ආගම මුස්‌ලිම් ආගම බවට පත්වනු ඇත.

2050 දී ලොව වෙසෙන මුස්‌ලිම් ආගමිකයන් ප්‍රමාණය බිලියන 2.8 ක්‌ අතර ක්‍රිස්‌තියානි ජනගහනය බිලියන 2.9 ක්‌ වනු ඇත. 2010 ජනගහන දත්ත වාර්තා අනුව ලොව මුස්‌ලිම් ජනගහනය බිලියන 1.6 ක්‌ වූ අතර ක්‍රිස්‌තියානි ජනගහනය බිලියන 2.17 ක්‌ වේ. 2010-2050 කාලය අතරතුරදී මුස්‌ලිම් ජාතිකයන්ගේ වර්ධනය කෙතරම් වේගවත් දැයි හොඳින්ම හඳුනාගත හැකිය.

පිව් සමීක්‍ෂණයට අනුව බෞද්ධ ආගමිකයන්ගේ සුවිශේෂ වර්ධනයක්‌ දැකගත නොහැකිය. 2050 වන විට ලොව පුරා මිලියන 450 ක ජනතාවක්‌ පාරම්පරික ආගමික ඇදහිලි විශේෂයෙන් චීන ආගමික ඇදහිලි අප්‍රිකානු ඇදහිලි හා සම්බන්ධව සිටිය හැකි බව මෙම වාර්තාව කියයි. මෙම සමීක්‍ෂණය අනුව 2050 වන විට ක්‍රිස්‌තියානි ආගමට අහිමි වන බැතිමතුන් ප්‍රමාණය මිලියන 106 කි.





Share this