අසුනක් නොලැබුණු ‘මිඩිවයිෆ්’ බසයෙන් එළියට

අසුනක් නොලැබ හිටගෙන ගිය ගැබිනි මවක ගම්පොළ උලපනේ දී බසයෙන් එළියට විසි වී බරපතළ තුවාල ලැබූ සිද්ධියට සතියක් ගතවීමට මත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හිටගෙන යද්දී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේ දී බසයෙන් එළියට විසි වී මහ පාරට වැටී තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ ගම්පොළ ජයමාලපුර 6වැනි පටුම‍ගේ පදිංචි යූ. එස්.ප්‍රේමකාන්ති පොඩිමැණිකේ නමැති පේරාදෙණිය රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකි.

ඇය සිය සැමියා සමඟ යතුරු පැදියෙන් විත් කොත්මලේ ඩිපෝවට අයත් මහවැලිගම මහනුවර බස් රථයට ගොඩ වී ගමන් ගනිමින් සිටිය දී ජයමාලපුර පන්සල අසල වංගුව පසුකරද්දී බස් රථයේ අල්ලාගෙන සිටි කණුව අතහැරී දොරෙන් එළියට විසි වී තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මේ දිනවල පවතින අධික ශීතලත් සමඟ ඇය‍ගේ අත් හිරි වැටී මේ ලෙස බසයේ කණුව අතහැරී ඇති බව ද පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගත් බව සඳහන්ය. කෙසේ නමුත් ඇයගේ තත්ත්වය එතරම් බරපතළ නොමැති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමටත් ගම්පොළ පොලිසිය කටයුතු යොදා ඇති බව ප්‍රකාශ විය.

ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා ස. පො. අ. චූලනී වීරරත්න ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ ස්ථානාධිපති උ.පො.ප. සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

Share this