ධර්මසේනගේ තීන්දුවෙන් ලෝක කුසලානය කැළඹෙයි!

පසුගියදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත තරගය අතරතුර සිදුවූ සුවිශේෂීම සිදුවීමක් වූයේ තරගයේ අවසන් පන්දුවට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමේ ජෙම්ස් ටේලර් ලකුණු 98 ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණා යැයි විනිසුරුවරයා තීරණය කිරීමයි. එම අවස්තාව වනවිට එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු අතහැර තිබුනත් ජෙම්ස් ටේලර් තමන්ගෙ මංගල ශතකය වාර්තා කිරීම අභියස සිටීම කැපී පෙනුන කරුණක් විය.

එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් එය දැවී යෑමක් ලෙස සටහන් කළත් ජෙම්ස් ටේලර් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් තෙවැනි විනිසුරුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබුණි. නමුත් ප්‍රධාන විනිසුරු දැවී යෑම සටහන් කළත් ඒ අතර කාලය තුළ පිතිකරුවන් දෙදෙනා ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහයක නිරත වුණු අතර එහිදී අනෙක් අන්තයේ සිටි ජිමි ඇන්ඩර්සන් දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් සමත් වන අතර එය දුවද්දී දැවී යෑම දැවී යෑමක් ලෙස එවෙලේ දෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන තීරණය ලබාදී තිබුණි. 

කෙසේ හෝ අවසන පන්දු රකින්නන් විසින් ඉල්ලීම කළ කඩුල්ල මුවා කිරීමේ දැවී යෑම නිෂ්ප්‍රභ වන අතර අනතුරුව එම පන්දුවටම හසුකරගත් දුවද්දී දැවී යාමේ තීන්දුව ලබාදෙනු ලැබුවේ කුමාර් ධර්මසේන විසිනි. තරගය අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම දුවද්දී දැවී යෑම නීති විරෝධී දැවීයෑමක් බවත් ඒ වැරැද්ද විනිසුරුවරුන් භාරගත යුතු බවත්ය.කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවී විනිසුරු විසින් තීරණය ලබාදීමෙන් අනතුරුව පන්දුව අජීවී වන බවත් අනතුරුව එවැනි දවා ගැනීමකට හසුකරගැනීමට නොහැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

මෙම තීරණයත් සමග විනිසුරු කුමාර් ධර්මසේනගේ ඉදිරි ලෝක කුසලාන වල විනිශ්චය කිරීමට යොදාගැනීම පිලිබඳ අවිනිශ්චිත තත්වයක් උදාවී ඇතිබව වාර්තා වේ. 







Share this