අසාද් සාලිගේ අසමගිය වපුරන වැඩ නතර කරවන්න

නුගේගොඩ රැළියේ බෞද්ධ කොඩි එසවූ බව කියමින් ජාතීන් අතර අසමගිය වපුරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතාගේ ක්‍රියාකාරකම් වහා නැවැත්වීමට කටයුතු කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (19 වැනිදා) රජයෙන්, මුස්‌ලිම් ආගමික නායකයන්ගෙන් සහ දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියහ.

එසේ කිරීම ජාතීන් අතර සමගියට මහත් පිටිවහලක්‌ වනු ඇති බවත් එය මේ මොහොතේ කළ යුතු ප්‍රමුඛ කාර්යයක්‌ බවත් උන්වහන්සේ පැවැසූහ.

නුගේගොඩ රැස්‌වීම බෞද්ධ කොඩි අතැතිව පැවැත්වූ අන්තවාදී රැස්‌වීමක්‌ බවට අසාද් සාලි මහතා කරන ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් කී උන්වහන්සේ මේ බෞද්ධ රාජ්‍යයේ බෞද්ධ කොඩි ධජ අත දැරීම අන්තවාදී වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.

අසාද් සාලි මහතාට මෙම රට කුමක්‌ද? මෙම පරිසරය කුමක්‌ද මෙහි මිනිසුන්ගේ හැඟීම් දැනීම් කුමක්‌ද යන්න අමතකවී ඇති බවත් පැවසූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තමන් වහන්සේලාව සටනට නොකැඳවන්නැයි ඒ මහතාගෙන් ඉල්ලා සිටියහ.

නුගේගොඩ රැළියට දැවැන්ත ජන ගඟක්‌ පැමිණීමෙන් අසාද් සාලි මහතා අභියෝගය පරාජය වී ඇති බවත් දැන් ඒ මහතා දේශපාලනයෙන් සමු ගත යුතු බවත් පැවසූ උන්වහන්සේ ඔහු නොකරන්නේ නම් ඔහුට ඇඳුම් ඇඟලා පාරේ යා නොහැකි බව කියා සිටියේය.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (19 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

Share this