දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% කරන පනත සම්මතයි

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට අසූව (80%)දක්වා වැඩි කෙරෙන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී  සම්මත වී තිබෙනවා. එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

විවාදයේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතත්, ජාතික ඖෂධ පනතත් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් සිදුවන බවයි.

"ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරනවා.  බංගලාදේශය සියයට 40ක්, තායිලන්තය සියයට 85ක්, ඉන්දියාව සියයට 85ක්, නේපාලය සියයට 90ක් ක්‍රියාත්මක කරනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ සඳහා කැප වී කටයුතු කළා. ඒ නිසාම ජාත්‍යන්තරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එතුමා ඇගයීමට ලක් වුණා. ජාත්‍යන්තරයේ කීර්තිය ලැබුණා. අපි දුම්කොළ පාලනය අතින් ජාත්‍යන්තරයේ සිටියේ 42වැනි ස්ථානයේ. දැන් අපි 2වැනි ස්ථානයට පත් වී තිබෙනවා."

අකුරු මගින් ලබාදෙන අවවාදවලට වඩා රූපමය අවවාදවලින් වැඩි බලපෑමක් සිදුවන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, දුම්පානය නිසා හෘදරෝග, පිළිකා, නොමේරු දරුවන් බිහිවීම වැනි දේට මුහුණ දීමට සිදුවන බවද පැවසීය.

Share this