පාකිස්තානයේ දී ඇල්ලූ කුඩු රජා ‘වෙලේ සුදා‘ මෙරටට රැගෙන එයි

කුඩුවලට මුවාවී සිටි දේශපාලනඥයන්ගේ රහස් හෙළිවන ලකුණු

ශ‍්‍රී ලංකාවට හෙරොයින් රැගෙන ඒමේ ප‍්‍රධාන ජාවාරම්කරු ලෙසින් සැලකෙන වෙ‍ලේ සුදා සහ බඩෝවිට සුදා නමින් හැඳින් වෙන ජී. සමන් කුමාර පාකිස්තානයේ දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) උදෑසන මෙරටට රැගෙනවිත් ඇත.පාකිස්තාන ආරක්ෂක අංශ මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට සති දෙකකට පෙරය.

පාකිස්තාන ආරක්ෂක අංශ විසින් වෙ‍ලේ සුදා අත්අඩංගුවට ගෙන ඇති බවට ප‍්‍රථමයෙන් තොරතුරු ලැබි ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ එරට ආරක්ෂක අංශවලින් විමසා ඇත. එහෙත් ඒ බව එරට ආරක්ෂක අංශ කිසිදු තොරතුරක් දන්වා නැත.

පසුව ඉකුත් ජනවාරි 08 වැනි දා උදෑසන මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එය ද ව්‍යර්ථ වී තිබේ.පසුව පෙරේදා (12* දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පාකිස්තානයට ගොස් සැකකරු සිය භාරයට ගෙන ඊයේ (13* උදෑසන 6.00ට මෙරටට රැුගෙනවිත් ඇත. මේ වන විට සැකකරු රහස් ‍පොලිස් භාරයේ තබා ගනිමින් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

කුඩු ජාවාරම්වලින් මෙතෙක් ඔහු විසින් ලබාගෙන ඇති දේපොළ වටිනාකම රුපියල් කෝටි 19ක් වන අතර එම දේපොළ විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට රහස් පොලිසිය පියවර ගෙන තිබේ.

මේ මහපරිමාණ කුඩු රජා මෙරටට රැුගෙන ඒමෙන් පසු වසර ගණනක් තිස්සේ කුඩුවලට මුවාවී සිටි දේශපාලනඥයන්ගේ රහස් හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන තවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඒ අතර ආරක්ෂක අංශවලට සම්බන්ධ උසස් නිලධාරීන් සිටින බවටද තොරතුරු හෙළිවී තිබේ.
”‍වෙලේ සුදා”‍ නමැති කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසිය මහාධිකරණයේ අවසරය මත ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් රතු නිවේදන නිකුත් කොට තිබිණි.

සැකකරු පාකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් එහිදී ගෙන ගිය කුඩු ජාවාරම් පිළිබඳ පාකිස්තානු පොලිසිය මඟින් හෙළිකරගෙන ඇති තොරතුරු කඩිනමින් ලබා ගැනීමට රහස්‍ය අංශ ඊයේ සවස ජාත්‍යන්තර පණිවුඩ හුවමාරුවක යෙදෙමින් සිටි බවද දැනගන්නට ඇත.

Share this