මෛත‍්‍රීට පැල්මඩුල්ලේදී මැර ප‍්‍රහාරයක් [VIDEO]

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහභාගිවූ පැල්මඩුල්ලේ ප‍්‍රචාරක රැළියකට එල්ලවූ මැර ප‍්‍රහාරයකින් හය දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන රැස්වීම අමතන විට වේදිකාව පිටු පස පිහිටි ගොඩනැගිල්ලක සිට ගල් ප‍්‍රහාරය එල්ලවූ බව රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන් පවසන්නේ.

එම ගල් ප‍්‍රහාර රැස්වීමට සහභාගි වෙමින් සිටි ආධාරකරුවන්ට වැදුණු බවති එම අවස්ථාවේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිතව කැටුව ගිය බවත් මාධ්‍යවේදීන් පවසනවා. කුපිතවු ජනතාව පසුව ගල් ප‍්‍රහාර එල්ල කළ ගොඩනැගිල්ල දෙසට ගල් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.

තමා රැස්වීම අමතද්දී ප‍්‍රහාරය එල්ල වූ බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන පසුව මාධ්‍යයට ප‍්‍රකාශ කළේය. විසි දහසක් පමණ සහභාගී වූ රැස්වීමට ගල් වලින් පහර දෙද්දී ජනතාව සීසී කඩ දිවූ බවයි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප‍්‍රකාශ කළේ. වේදිකාව අසල සිටි අසරණ ජනතාවට ගල් ප‍්‍රහාර වැදුණු බව පැවසූ ඔහු ආණ්ඩු පක්ෂයේ මැර කණ්ඩායම් විසින් ගල් ප‍්‍රහාර එල්ල කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව තමා බලවත්සේ කණගාටුවට පත් වන බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. යහපාලනය ගැන කථා කරන ඔවුන් විසින් ජනතාව සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් බලාපොරොත්තුවෙමින් සිටියදී මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිරීම ගැන අතිශයින්ම කණගාටුවන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.











Share this