මෙහෙම සැපක් නැත චෝගම් ජංගම සැප වාගේ

පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ‍්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි සුඛෝපභෝගී බස්රථ දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම බස්රථ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු පරිහරණය කර තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මේ දක්වා කල්බදු ක‍්‍රමයට ලංකා අශෝක් ලේලන්ඞ් සමාගම වෙත මුදල් ගෙවා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක් බස් රථයක් සඳහා මසකට රුපියල් ලක්ෂ නවය බැගින් අදාළ අධි සුඛෝපභෝගී බස්රථ දෙක වෙනුවෙන් මේ දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 252 ක මුදලක් ගෙවා තිබෙන අතර එම බස්රථ පරිහරණය කෙළේ කවුරුන් ද, එය කුමන ආකාරයෙන් ද යන්න නොදැන සිටි බවද මේ දක්වා එම බස්රථ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙනවිත් නොමැති බවද එම අමාත්‍යාංශය කියයි.

කෙසේ වුවද වර්ෂය අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සතු භාණ්ඩ ලේඛනය පරීක්ෂා කිරීමේ දී මේ බස්රථ දෙක වෙනුවෙන් කල්බදු මුදල් ගෙවන බවට සටහන්ව ඇති නමුත් එවැන්නක් විදේශ අමාත්‍යාංශයේ නොමැති බවද පසුව කළ පරීක්ෂා කිරීමේ දී මේ බස්රථ දෙක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් පරිහරනය කරන බවට තොරතුරු අනාවරණය කරගත් බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

කිසිවකු හෝ නොදැන සිටි මේ අධී සුඛෝපභෝගී බස්රථ දෙක පෙරේදා (29) විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ‍්‍රයට ගෙනවිත් දමා තිබෙන අතර මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය මට්ටමින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙ‍තෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඒ මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කෙළේය. සාමාන්‍ය මගී ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අධි සු‍‍ඛෝපභෝගී බස්රථවල නොමැති තරම් පහසුකම් මේ බස්රථ දෙකේ පවතින අතර ඒ සියලූ පහසුකම්වලින් සමන්විත ලෙස නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් දිනමිණ‍ පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේ එක් අවස්ථාවක දී පමණක් තමන් මේ බස් රථයකින් ගමන්කර තිබෙනවා හැරෙන්නට මේවා නීති විරෝධී ලෙස පාවිච්චි කර නොමැති බවය. මේ ගැන ඇතැමුන් අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස්රථයේ සවාරි ගිය ආකාරය දැක්වෙන ජායාරුප කිහිපයක් පහත පළවේ.










Share this