Dad's body have two young children who live five days a sandwich banana .

තාත්තගේ මිනිය ගාව දවස් පහක් කෙසෙල් කකා ජීවත් වුණු දරු පැටව් දෙන්නෙක්
බිරිය පොල්ලකින් ගසා සැමියා මරලා 
දරුවන් දෙදෙනා දමා පැන ගිහින්

අම්මාගේ පොලු‍ පහරින් තාත්තා මියගිය බවක් නොදත් කුඩා දරුවන් දෙදෙනකු කිසිවකුගේ රැකවරණයක් නොමැතිව දින පහක් තිස්සේ ඉදුණු කෙසෙල් කැනක ගෙඩි කමින් මළගෙදරක හුදකලාවූ ශෝකජනක සිද්ධියක් කෑගල්ල බෙලිගල හත්නාගොඩ හරංකහව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මේ අම්මා සිය සැමියා ඝාතනය කොට වයස අවුරුදු පහක හා වසර තුනක දරු දෙදෙනාද නිවෙසේ තනිකර දමා පලායෑමද දාරක ප්‍රේමයේ තරම කියාපාන්නකි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල බෙලිගල, හත්නාගොඩ, හරංකහව පදිංචිව සිටි ගොඩයලාගේ ප්‍රේමරත්න නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.

ඊයේ (24දා) පෙරවරුවේ කෑගල්ල පොලිසිය විසින් මළ සිරුර සොයාගන්නා ලදී.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ස්ථීර රැකියාවක් නොකළ ගම්මානයේ එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත්ව ඇති බවත්ය. මීට වසර අටකට පමණ ඉහතදී කෑගල්ල පල්ලේවල ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන සිය නිවෙසට කැන්දාගෙන පැමිණ ජීවත් වෙමින් සිට ඇත.

මේ යුවළට දැනට වයස අවුරුදු පහක හා අවුරුදු තුනක පිරිමි දරුවෝ දෙදෙනෙක් සිටිති.

අඩක් ඉදිකරගත් නිවෙසක ජීවත් වෙමින් සිටි මේ යුවළ අතර නිතර නිතර අඬදබර පැවැති බවත් එවැනි අවස්ථාවලදී බිරිය සිය සැමියා හා දරු දෙදෙනා අතහැර දමා ගොස් ඇති වාර ගණන කිව නොහැකි බවත් මියගිය පුද්ගලයාගේ බාල සහෝදරිය වන කමලා අයිරාංගනී මහත්මිය පැවැසුවාය.

එම අවස්ථාවලදී දරු දෙදෙනා තමා විසින් රැගෙන ගොස් ඇති දැඩිකළ බවත් පසුව දරු දෙදෙනා තමාගෙන් බලෙන් රැගෙන ආ බවත් ඇය සඳහන් කළාය.

ඉකුත් 19දා රාත්‍රි මේ දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඔවුනොවුන් ප්‍රතිප්‍රහාර එල්ල කරගෙන අවසානයේ කාන්තාව පොල්ලක් ගෙන සිය සැමියාට පහර දී ඝාතනය කර පලාගොස් තිබිණි.

මෘත දේහය අඩක් නිම කළ කාමරයේ තිබියදී දරු දෙදෙනාද එම කාමරයේ 19දා සිට ඊයේ (24දා) දිවා රෑ ගත කර ඇති බව පොලිසිය කියයි. වයස අවුරුදු පහක හා තුනක දරු දෙදෙනා දින හතරම ගෙදර කපා දමා තිබූ කෙසෙල් කැනක ගෙඩි ආහාරයට ගෙන ඇති බව පොලිසිය කියයි.

වයස අවුරුදු පහක දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අම්මා තාත්තා දෙන්නා රණ්ඩු වූ බවත් පසුව අම්මා තාත්තාට පොල්ලකින් පහරදී අප දෙදෙනා දමා ගිය බවත්ය. වැටී ඉන්න තාත්තාට කතා කළත් ඔහු කතා නොකළ බවත් කෙසෙල් ගෙඩි කමින් සෙල්ලම් කරමින් මල්ලී සමඟ නිවෙසේ සිටි බවත්ය.

ඊයේ (24දා) කෑගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවෙසට ගොස් පරීක්ෂා කර බලා දරුවන් දෙදෙනා එයින් මුදාගෙන ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සහෝදරියක වෙත භාරදී ඇත.

මේ පිළිබඳ කෑගල්ල පොලිසිය ඊයේ (24දා) කෑගල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ කටයුතු සිදු කර මෘත දේහය කෑගල්ල මහ රෝහලට යවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව හා සැකකාරිය සමඟ දරු දෙදෙනාද ලබන 30දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙළේය.

දින හතරක් කෙසෙල් ගෙඩි කමින් සිටි පියාගේ මෘත දේහය නිවෙසේ තිබියදී දහවල් සෙල්ලම් කරමින් රාත්‍රිය ගත කර ඇති දරු දෙදෙනා දින හතරක් කාපු කෙසෙල් කැනෙන් ගෙඩි ඊයේ (24දා) කඩන අයුරු කැමරාවේ සටහන් විය. මේ අහිංසක දරු දෙදෙනාට අද පියෙක් නැත. මව අතුරුදන්ව ඇත. මේ දරු දෙදෙනාගේ ජීවිතවලට සෙවණැල්ලක් වන්ට ඔවුන්ගේ නැන්දාටද ශක්තියක් නැත.



Share this