Sister, sisters arrest abetting illegal marriage

බාලවයස්‌ නැගණියට විවාහ වීමට අනුබල දුන් අක්‌කා අත්අඩංගුවට
============================================

මිදිගම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර පාසල් ශිෂ්‍යාවක්‌ භාරකාරත්වයෙන් මුදවා අපහරණයට ලක්‌කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇයගේ දහනව හැවිරිදි වැඩිමහල් සොයුරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 

එම දැරියගේ මවට දියණියන් දෙදෙනකු සිටිනා අතර මව සැමියාගෙන් වෙන්ව වෙනත් අයකු සමඟ තම නිවසේ ජීවත් වන අතර ඇයගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 19 කි. එක්‌දරු ඇඟලුම් සේවිකාවක වන විවාහක ඇයගේද සැමියා ඇය අතහැර ගොස්‌ ඇති අතර ඇයද ජීවත් වන්නේ මව සිටිනා නිවසේය.

අතවරයට පත් පහළොස්‌ හැවිරිදි දැරියද ඔවුන් සමඟ වාසය කරන අතර පසුගියදා සිය මව සමඟ ඇතිවූ අමනාපයකින් පසුව ඇය ඇගේ මිතුරියකගේ නිවසට පැමිණ ඇති අතර එම නිවසේ සිටි තරුණයකු සමඟ මෙම පහළොස්‌ හැවිරිදි දැරිය රහසේම පැනගොස්‌ ඇත.

සිය බාල දුව නිවසින් පිටව ගොස්‌ ඇති බවට මව විසින් පසුගිය 08 වැනිදා වැලිගම පොලිසියට පැමිණිලි කර ඇති අතර පෙරේදා (10 දා) නැවතත් එම මව විසින් සිය දියණිය තරුණයකු සමඟ පැනගොස්‌ ඇති බවට පොලිසියට පැමිණිලි කොට ඇත. 

ඉන්පසුව එම බාල වයස්‌කාර දැරියගේ වැඩිමහල් සහෝදරිය සිය නැඟණිය නීත්‍යනුකූලව විවාහ වී ඇති නිසා ඇයගේ ඇඳුම් පැළඳුම් ඇයට ලබාදෙන ලෙස නිවසට දුරකථන ඇමතුමක්‌ මගින් දැනුම් දී ඇත. 

මෙහිදී එම මවගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ වැලිගම පොලිසිය බාලවයස්‌කාර දැරියක්‌ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් මුදවා අපහරණයට ලක්‌ කිරීමට අනුබල දීමේ චෝදනා මත එම දැරියගේ 19 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සැකපිට අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

වැලිගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මිලාන් ලසන්ත බුද්ධික මහතාගේ අධීක්‍ෂණය මත කා.පො.ප. ශිරෝමී, කා.පො.කො, 5314 ඉන්දිකා යන නිලධාරිනියන් ඉදිරි පරීක්‍ෂණ සිදු කරයි.

Share this