‘‘ලෙඩ හොඳවුණැයි බොරු ප්‍රචාර යවලා ප්‍රින්ස්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා‘‘ - නැගණිය කියයි | වීඩියෝ

මෙරට ජනතාව ප්‍රේමණීය ගීතයෙන් සුවපත් කළ සොඳුරු කළාකරුවකු වන ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මේ වන විට දැඩි රෝගාතුර තත්ත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටින බව අප මීට පෙර වාර්තා කළා. එහිදී ඔහුගේ නැගණිය ඉල්ලා සිටියේ රටක් වටිනා, රටේ තරුණ පරපුරේ සිහින කුමාර වූ තම අයියාගේ අසනීප තත්ත්වය සුව කර ගැනීම පිණිස මෙරට මෙන්ම විදේශයන්හි සිටින සියලුම ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ සොඳුරු ගායන ශිල්පියාට ලැදි සැමගේ ආධාර උපකාරයයි. 

මෙම ලිපිය අප උපුටා ගත්තේ හිරු ගොසිප් වෙබ් අඩවියෙනි. මෙම ලිපියේ මෙතැනින් මතු සියලුම කරුණු සම්බන්ධයෙන් පූර්ණ අයිතිය හිරු ගොසිප් වෙබ් අඩවිය සතුවේ. හිරු ගොසිප් වෙබ් අඩවියට අපගේ ස්තුතිය. 

==============================

මේ හිරු ගොසිප් ප්‍රින්ස් සොයා ගිය ගමනයි

සුදුමල් පොකුරක්,  සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ,  ඔබ පෑ පෙම් සිනා ආදී ගීත සමුදායක් ගැයූ 90 දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළවූ තරු අතර ප්‍රින්ස් උදයප්‍රියන්ත මුල් පෙළේම සිටි ගායකයෙක් බවට ඔබ හොඳින්ම දන්නා කරුණක්....

එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් මේ වනවිට රෝගාතුරු වී රෝහල් ගතව සිටින බවට හිරු ගොසිප් අප ඔබවෙත තොරතුරු ගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ සහය ඔහුට අවශ්‍යම අවස්ථාවකයි. නමුත් මේ වන විට ඔහු සුවඅතට හැරෙමින් පවතින බවට නොයෙකුත් වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය වාර්තා පළවෙනවා.

මේ පිළිබඳව අප ප්‍රින්ස්ගේ නැගණියගෙන් විමසා සිටියා. 

“තවම කන්න බොන්න බැරිනම් , වම් කකුළ වැඩ කරන්නෙත් නැතිනම් , කතා කරන්න නොහැකි නම් මොකද්ද තියෙන හොඳේ“ යැයි ප්‍රින්ස්ගේ නැගණිය ප්‍රශ්ණ කර සිටිනවා. වෛද්‍යවරුන් පවා පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැනට කිසිවක් කිව නොහැකි බවයි. ප්‍රින්ස් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ද නැගණිය පවසා සිටිනවා.
ඊයේ ප්‍රින්ස්ගේ සීනි මට්ටම 56ට බැසගොස් ඔහුගේ ක්‍රියාකාරීත්වය නැතිව ගිය බවත් ඇය හිරු ගොසිප් අප සමඟ පවසා සිටියාය. 

එබැවින් රෝග දෙකක් තිබෙන නිසා ප්‍රින්ස්ට සුවවීමට කොපමණ කලක් ගතවේද යන්න පිළිබඳව  වෛද්‍යවරුන්ටත්  කිව නොහැකි බවට ඇය පවසනවා. බොහෝ විට අවුරුද්දක කාලයක් ගතෙවේයැයි නිගමනය කරන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ හෝ ප්‍රින්ස්ගේ ආත්ම ගෞරවයට හානි වන ආකාරයේ දේවල් නොකරන්නැයිද ඇය ඉල්ලා සිටිනවා.

“ප්‍රින්ස් අයියා හරි චාම්. මූණට පවුඩර් දාන්නෙත් නෑ. හරිම චාම් විදියට තමයි ෂෝ වලට යන්නේ..... ආත්ම ගෞරවයට හානි කරන්න එපා. අයියා සුව වෙනවා කියන වචනේ අහන්න තමයි අපිට ඕනේ.‘‘ 

ප්‍රින්ස් සොයා රෝහලට ගොඩවුණු හිරු ගොසිප් අපට දැකගන්නට හැකිවුණේ රෝහල් කාමරයක කිසිවෙකුට කතාබහ කරගැනීමට නොහැකි ලෙසින් දැඩිලෙස රෝගාතුරුව  ප්‍රින්ස්‍ සිටින ආකාරයයි. එය දකින සියළුදෙනාගේ හදවතක් කම්පාවනු නිසැකයි.

වයලීන් වාදකයෙකු ලෙසින් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීත අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් පසු කලෙක රසික හදවත් තුළ නොමැකෙනා මතක සටහන් රැසක් ඉතිරි කළේ ඔහුගේ මුවින් ගැයූ අපූරු ගායනයන් තවමත් රැව්පිළි රැව් දෙන ආකාරය ඔබේ මතකයට ගෙන එමින්ය.

තනිකඩ දිවියක් ගෙවන ඔහුගේ හුදෙකලා ජීවිතයේ තනිනොතනියට සිටියේ ඔහුගේ මව සහ නැගණියයි. මව 2014 වර්ෂයේ ඔහු තනිකර මෙලොව හැරගිය අතර දැන් ඔහුගේ දිවියේ ළඟ සිටින්නේ  නැගණිය පමණයි.

මේ වන විට 45වන වියට පාතබා තිබෙන ප්‍රින්ස්ට ඉක්මන් සුවය ලැබේවායි හිරු ගොසිප් අප එකසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා.

පහතින් දැක්වෙන්නේ හිරු ගොසිප් අප රෝගාතුරුව සිටි ප්‍රින්ස් සොයාගිය ගමනේ වීඩියෝවයි...


Share this