කුසල් ගැන දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැකයක් මතුවන බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

යම් හෙයකින් කුසල් මෙය දැනුවත්ව සිදුවී නම් ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි කුමන්ත්‍රණයක් සිදුවිය නොහැකි බවට ද ඇතැමුන් මත පළ කර තිබෙනවා. කිසියම් ලෙසකින් කුමන්ත්‍රණයක් සිදුවිය හැකි එකම ක්‍රමය  ක්‍රීඩකයාගේ කෑමට තහනම් උත්තේජක මුසු කිරීම පමණක් බවයි ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පවසා තිබෙන්නේ.

ඔවුන් සඳහන් කරන්නේ කුමන්ත්‍රණ කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාතෘකාවක් ලෙස බවයි.

කෙසේ වෙතත් කුසල් කුසල් ජනිත් පෙරේරාගේ බී සාම්පලයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ජගත් පාලක මණ්ඩලය වෙත යවන බවද විෂයභාර අමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තා වනවා.

කෙසේ වුවද බී සාම්පලය යනු පළමු සාම්පලයේම කොටසක් බැවින් ජගත් පාලක මණ්ඩලය වෙත වෙනත් සාම්පලයක් යැවීමෙන් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව මද බවද ක්‍රීඩා විචාරකයින් පවසා තිබෙනවා.

Share this