ඉන්දියාවට ලෝක කුසලානයක් ගෙන දුන් ක්‍රිකට් ක්‍රීඩකයා පදික වෙළෙන්දෙක් වෙයි


මීට වසර 10 කට පෙර එනම් 2005 වසරේ පැවැති ගොළු බිහිරි ලෝක කුසලානය ඉන්දියාවට දිනාදීමේ ප්‍රමුඛයා වූයේ ඔහුය. එවකට 20 හැවිරිදි වියේ පසුවූ ඔහු එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 62 ක් ලබමින් ඉන්දීය කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ගිය අතර, අවසන් තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 40 ක් ලබමින් ඉන්දියාවට ලෝක කුසලානය දිනා දුන්නේය. ඉන්දීය ගොළු බිහිරි ලෝක කුසලාන සංචිතයේ සිටි ලකුණු මැෂිම වන ඔහු නමින් ඉම්රාන් ෂෙයික්ය.



ඒ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රිකට් ගමන එතැනින් නිමාවට පත්ව අවසානය. අද වනවිට ඔහු කචෝරි (ඉන්දීය ආහාරයකි) විකුණන පදික වෙළෙන්දෙක් බවට පත්ව තිබේ. 30 හැවිරිදි වියේ පසුවන ඉම්රාන්ගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බඩ වියත රැකගන්නේ ක්‍රිකට්වලින් නම් නොවේ. ඉන්දියාව වැනි ක්‍රිකට් ක්‍රීඩාව දේවභාෂිතයක් ලෙස සලකන රටක මෙම ක්‍රිකට් ක්‍රීඩකයාට පිළිසරණක් වී ඇත්තේ කඛොරි කඩයකි.


අඩි හයකට ආසන්න උසක් හිමි ඉම්රාන් අද වනවිට ජීවත් වනුයේ ගුජරාටි ප්‍රාන්තයේ බැරෝඩාහිදීය. "ක්‍රිකට් මගේ විලාසිතාවක්. මට අවශ්‍යයි ක්‍රීඩා කරන්න. නමුත් මගේ ආර්ථික තත්ත්වය ඒ සඳහා එතරම් යහපත් නැහැ. ඒ වගේම මගේ ආර්ථිකයෙන් මට මගේ පවුලේ සාමාජිකයන්ට ශක්තියක් වීමට බැහැ. ගොළු බිහිරි ක්‍රිකට් ක්‍රීඩා කළාට එතරම් මුදලක් උපයා ගැනීමට බැහැ. ඒ නිසයි මම මගේ බිරිඳ වන රෝසා සමග එක්ව පෝෂණයෙන් යුතු කඛොරි කඩයක් දාගත්තේ. ඒකෙන් මට අතිරේක ආදායමක් ලැබෙනවා. ඒ වගේම මම ගුජරාටයේ තාවකාලික රැකියාවකුත් කරනවා" යැයි ඔහු ඔහුගේ වත්මන් ජීවිතය ගැටගසාගන්නා ආකාරය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මාධ්‍යයට පවසා තිබේ.

ඉම්රාන්ගේ ක්‍රිකට් දක්ෂතා කොතරම්ද යත් ඉන්දීය ජාතික ගොළු බිහිරි කණ්ඩායමට විත් වසර 7ක් ඉක්ම යද්දී කණ්ඩායම් නායකත්වය පවා හෙබවීමට තරම් ප්‍රශස්ත විය.තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ඉම්රාන්, 2005 වසරේ පැවැති ගොළු බිහිරි ලෝක කුසලානයේදී නේපාලයට එරෙහිව ලකුණු 70 ක් හා නවසීලන්තයට එරෙහිව ලකුණු 60 ක් ලබාගැනීම කැපීපෙනෙන සිදුවීමකි.

"මම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ අවුරුදු 15 දීයි. ක්‍රිකට් තරග රූපවාහිනියෙන් නරඹා පසුව මම භුටඩිසම්පා ක්‍රීඩාංගණයට ඇවිත් ක්‍රීඩා කරනවා. මගේ පුහුණුකරු නිටේන්ද්‍ර සිං තමයි මගේ දක්ෂතා හඳුනාගෙන මට උසස් අයුරින් ක්‍රිකට් ක්‍රීඩා කළ හැකියි යැයි පැවසුවේ. ඒ අනුව මට ගුජරාටි කණ්ඩායමටත්, පසුව ඉන්දීය කණ්ඩායමටත් එක්වීමට වරම් හිමිවුණා"

ඉම්රාන් ෂෙයික් අවසන් වරට ඉන්දීය ගොළු බිහිරි කණ්ඩායමට නායකත්වය සැපයුවේ මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවති ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියටයි.

"මේ වනවිට අපි අපේ නිවසින් ඈත්වෙලා ඉන්නේ. බැරෝඩාවල ජනතාව අපිට ලොකු සහයක් දක්වනවා, අපේ කඩයෙන් කෑම මිලදී ගෙන. ඉන්දීය රජය අපට ඇති අපහසුතා පිළිබඳව වටහාගෙන අපට උදව්වක් ලෙස ස්ථිර ස්ථානයක් කඛොරි කඩය කරගෙන යන්න ලබාදෙනවා නම් එය අපට ලොකු උදව්වක් වේවි" යැයි ඉම්රාන්ගේ බිරිඳ පවසන්නීය.




Share this