වෙලේසුදා උදයන්තිට ලක්ෂය බැගින් 4 වතාවක් දීලා - උපන්දිනයටත් 50,000ක ත්‍යාගයක්

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක්  ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

සිය බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා  උදයන්ති කුලතුංග විසින් ඉදිරිපත් කළ ඉල්ලීම අද අධිකරණය හමුවේ සලකා බැලුණා.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් දරා සිටින වෙලේසුදා සමග මූල්‍ය ගනුදෙනු සිදුකළ බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

වෙලේසුදාගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී මෙම තොරතුරු හෙළිව ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ. ඒ අනූව වෙලේසුදා විසින් උදයන්ති කුලතුංගට සිව්වතාවක් රුපියල් ලක්ෂය  බැගින් දී ඇති බවත්, ඇයගේ උපන් දිනයක් වෙනුවෙන් රුපියල් 50,000ක ත්‍යාගයක් දී ඇති බවත් බැංකු ගිණුම් පරික්ෂාවේදී හෙළිව ඇති බව රහස් පොලීසිය පවසා තිබෙනවා.

එසේම උදයන්ති කුලතුංග විසින් රුපියල් ලක්ෂ 100ක තැන්පතුවක් ඇයගේ සහෝදරියකගේ ගිණුමට බැර කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයේදී පවසා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන මස 3 වැනිදා යළි නඩුව විභාගයට ගැනීමටත්, උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කරමින්  කොළඹ මහාධිකරණය ලබාදුන් පිටපතක් එදිනට ඉදිරිපත් කරන ලෙසත් දැනුම්දී ඇත.
























Share this