ජනපති ලේකම් කාර්යාලයේ අරුම පුදුම ලීසිං

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද අරුම පුදුම ආකාරයේ ලීසිං හෙවත් කල්බදු ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට අළුතෙන් වාහන ලබාගැනීමේ දී ඒවා කල්බදු ක‍්‍රමයට ලබා නොගන්නා නමුත් පසුගිය රජය විසින් කල්බදු පදනම මත LOLC ආයතනය හරහා මේ ආකාරයට වාහන ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස LOLC සමාගම හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගෙන ඇති වාහන සඳහා මාසික වාරික වශයෙන් පමණක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 15කි. නමුත් මෙම ගිවිසුමේ ඇති සුවීශේෂී තත්වය එය නොවේ. සාමාන්‍යෙයන් අප වාහනයක් කල්බදු පදනම පිට ලබාගත්විට එම ණය මුදල ගෙවා අවසානයේ දී එම වාහන ඒවායේ හිමිකාරයාට අයත් වෙන නමුත් මෙම ගිවිසුමට අනුව මෙම මුදල ගෙවා අවසානවනවිට එම වාහන වල අයිතිය නැවත LOLC සමාගමටම හිමිවේ.

මෙම වාහන කුලී පදනම මත ලබාගන්නා ලද බව යමු අයෙකුට තර්ක කලහැකි නමුත් එසේ කුලී පදනම පිට එම වාහන ලබාගත්තානම් එම වාහන වල නඩත්තු කටයුතු සිදුකලයුතු වන්නේ ඒවායේ හිමිකාරීත්වය දරණ සමාගම විසිනි. නමුත් මෙම ගිවිසුමට අනුව මෙම වාහනවල නඩත්තුව සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහායි.

එමෙන්ම මේ ආකාරයට ලබාගෙන ඇති වාහනවලට තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ගැටළුවක් පැන නැගී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් මයික්‍රෝ සමාගම මගින් එකලස් කරන SsangYong Rexton වර්ගයේ ජීප් රථයක අද දිනයේ වටිනාකම රුපියල් මිලියන 6.35 ත් 6.9ත් අතරවන නමුත් 2014වර්ශයේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රථයක් රුපියල් ලක්ෂ 135ක බැගින් මිලදීගෙන ඇත. මේ ආකාරයට වැඩි මුදලකට මිලදී ගැනීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එම වැඩිපුර මුදලට අමතරව කල්බදු කාලය සඳහා ඒ මුදල වෙනුවෙන් පොලියත් අමතරව ගෙවීමට සිදුව ඇත.

19වන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවීමත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් විගණනය නොවීමත්, ජනාධිපති ලේකම්ට කිසිඳු දිනක කෝප් කමිටුව ඉදිරියට නොපැමිනීමත් හේතුවෙන් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.

එමෙන්ම මෙම ගනුදෙනුව සඳහා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කල්පිටිය බීච් රිසෝර්ට් ඇතුළු කොටස් වෙළඳපොල කෘතිමව හැසිරවීම සහ තවත් අයථා ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු සහ LOLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉෂාර නානායක්කාර යන පුද්ගලයන් ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

Share this