FCIDය අහෝසි කරන්න කියන්නේ හොරු... මෛත‍්‍රි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCIDය අහෝසි නොකරන්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (20) පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව්දීය.

"මහා පරිමාණයේ වංචා ගැන සෙවීමට පත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නැහැ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කළා." යැයි එහිදී පවසා තිබේ.

රටේ වන රක්ෂිත විනාශ කිරීම සම්බන්ධයෙන්...

"විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.

විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා."

යුද සමයේ මානව හිමිකම් කඩවීමේ චෝදනා ගැන...

යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැම්බරයේ අවසන් කරන බව හා විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත් ඔහු එය පිළිගත් බවත් ජනපතිවරයා එහිදී පවසා තිබේ.

FCIDය අහෝසි කරන්නැයි විපක්‍ෂය කෑගහන්නේ ඔවුන්ගේ හොරකම් වහගන්නයි...

මේ අතර අද (21) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවදී එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසූවේ FCIDය අහෝසි කරන්න කියා විපක්‍ෂය කෑගහන්නේ ඔවුන්ගේ හොරකම් වසාගැනීමට බවයි.

"මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳව විපක්‍ෂය කෑගහන්නේ ඔවුන්ගේ හොරකම් වහගන්නයි. මූල්‍ය අපරාධ කොට්ඨාශය ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ නිසා එය නීත්‍යානුකූල ආයතනයක්. ඒ කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලනිපයේ එජාපයේ ඇමතිවරු ඉන්නවා. එයට චෝදනා කරන අය උත්සාහ කරන්නේ තමන්ට එල්ලවෙන වංචා-දූෂණ චෝදනාවලින් බේරී සිටීමටයි.”‍

Share this