වයඹ පළාත් ඇමැතිගේ නිවසේ විදුලිය කැපීමෙන් පසු විදුලි ඉංජිනේරුවරයාට දුරකත‍නයෙන් තර්ජන

වයඹ පළාත් ධිවර, කෘෂිකර්ම ගොවිජන සේවා, සත්ව පාලන සහ සත්ව සංවර්ධන ඇමැති කේ. සනත් නිශාන්ත පෙරේරා මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කිරිමෙන් පසු හලාවත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාට කිසියම් අයකු දුරකතනයෙන් බැන තර්ජනය කර ඇති බවට හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුව හලාවත ප්‍රාදේශීය විදුලි කාර්යාලයට පැමිණි පිරිසක් විදුලි විසන්ධි කිරිමට ගිය කණ්ඩායම පිළිබඳ තොරතුරු විමසා ගිය බවටත් හලාවත පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

ඇමැතිවරයා ආරච්චිකට්ටුව සෙංගල්ඔය ප්‍රදේශයේ පිහිටි නිවසට සහ කාර්යාලයට සපයා තිබු විදුලිය වෙනුවෙන් වසර දෙකකට නියමිත ගාස්තු නොගෙවිම නිසා එම ගාස්තුවත් ඊට අදාළ දඩ මුදලත් ඇතුළත් වන රුපියල් ලක්ෂ දහ හතරක මුදලක් නොගෙවා පැහැර හැරිම විදුලිබල මණ්ඩලයට අයත් හලාවත ප්‍රාදේශීය කාර්යාලය විසින් මේ විදුලිය විසන්දි කිරිමට පියවර ගනු ලැබිය. ඒ පිළිබඳ විස්ත‍ර මෙයට සති දෙකකට කලින් මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. එම සිද්ධියන් පසු වියරු වැටි ඇති යමෙකු තම දුරකතනයට ඇමතුම් ලබා ගෙන තමාට නොසරුප් වදනින් අවලාද නගමින් තර්ජන එල්ල කර ඇති බව හලාවත ප්‍රාදේශීය විදුල් ඉංජිනේරු ප්‍රසාද් රත්නායක මහතා විසින් හලාවත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

දුරකතන ඇමතුම පිළිබඳ හලාවත අධිකරණයට කරුණු ඉදිරිපත් කර එම සමාගම මගින් අවශ්‍ය තොරතුරු ලබා ගෙන තර්ජන එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන ඇති බව පොලිසිය කියයි. හලාවත පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.

Share this