බිපාෂාට අලුත් හිතවතෙක්

අද්භූත සිදුවීම්වලින් පිරුණු කතා රැගත් චිත්‍රපටවලට ජනප්‍රිය නිළි බිපාෂා බාසුගේ රංගනය හොඳින් ගැළපෙන පාටයි. ඇය එවැනි තවත් අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට තෝරා ගත්තේ ඒ නිසා විය හැකියි.

මේ චිත්‍රපටය, ‘අලෝන්’ (Alone). භුෂාන් පටේල් නිර්මාණය කළ මෙහි බිපාෂා සමඟ ප්‍රධාන චරිතයක් රඟන්නේ කරන් සිං ග්‍රෝවර්. ඔහු ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි නළුවෙක්. බොලිවුඩ් සිනමාවට කරන් සිං එක්වන්නේ ‘අලෝන්’ චිත්‍රපටයෙන්.

අද්භූත සිදුවීම්වලින් ප්‍රේක්ෂකයාගේ හදවත් සසල කරවන්නට සමත්වූ මේ චිත්‍රපටයේ බිපාෂා සහ කරන්ගේ අනුරාගික විලාස අද බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙලා.

මේ කතාබහ චිත්‍රපටයට පමණක් සීමා වී නැහැ. තිරයෙන් පිටුපස කතාවකටත් මඟ පෑදිලා. කෙළින්ම කිව්වොත් බිපාෂා සහ කරන් අතර ප්‍රේම සම්බන්ධයක් හටගෙන ඇති බවට කතන්දර පැතිරිලා. මෙය කට කතාවක් ද, ඇත්ත කතාවක් ද යන වග තවම හෙළි වී නැහැ.

ඒ වුණත් බොලිවුඩ් උකුසු ඇස් පවසන්නේ පසුගියදාක කරන් සහ බිපාෂා, ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ පිහිටි ආනන්ද ආශ්‍රමයට ගොස් ආගමික කටයුතුවල යෙදුණු බවයි.

ඒ වැඩ කටයුතු නිමවීමෙන් පසුව කරන් සහ බිපාෂා ඉන්දියාවේ මනරම් ප්‍රදේශයක් වන ගෝවෙහි විනෝද සංචාරයක යෙදුණායැයි පැවසෙනවා. පසුගිය 23 දාට යෙදී තිබුණු කරන්ගේ උපන් දිනය සමරන්නත් හිතාගෙනලු දෙදෙනාම ගෝව ප්‍රදේශයේ සංචාරය කළේ.

මේ සංචාරයට බිපාෂාගේත්, කරන්ගේත් සමීප මිතුරු මිතුරියන් කිහිප දෙනකුම එක්වී සිටි බවත් ආරංචියි. මේ සියලු දෙනාම එකතු වී කරන් වෙනුවෙන් සුපිරි උපන් දින සාදයක් පැවැත්වූ බව බොලිවුඩ් ආරංචිවලින් හෙළි වුණා.

මේ ආරංචි පැතිරී ගිය විට බිපාෂා පැවසුවේ තමන් සහ කරන් අතර එවැනි සම්බන්ධයක් නැති බවයි. දෙදෙනා ඇසුරු කරන්නේ මිතුරන් හැටියට බවත් ඇය පැවසුවා.

කරන් සිං විවාහකයෙක්. ඔහු 2012 දී ජෙනිෆර් වින්ගට් සමඟ යුග දිවියකට මුල පිරුවා. ඇයත් ජනප්‍රිය ටෙලි නිළියක්. මෑතකදී ඔවුන් දෙදෙනා වෙන්වුණා.

Share this