මහින්ද මට පක්‍ෂය බාරදුන්නා නම් ඒක කරගෙන යන්නත් ඉඩ දෙන්න ඕන

- ශ්‍රීලනිප සංවිධායකවරුන් හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

මම තමුන්නාන්සේලාගෙන් වෙන්ව හිටියේ මාස එකහමාරයි. නමුත් මම ශ්‍රිලනිපයේ අවුරුදු 47 ක්‌ වැඩ කළා යෑයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16 වැනිදා) කොළඹ පදනම් ආයතනයේ දී පැවසීය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. 

එහිදී ජනපතිවරයා මෙසේද කීය. 

විශේෂයෙන්ම තමුන්නාන්සේලා කවුරුත් දන්නා පරිදි පක්‍ෂයේ සභාපති ධුරයට තමුන්නාන්සේලා තමයි මට ආරාධනා කළේ. හිටපු සභාපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා තමයි පක්‍ෂය භාර ගන්න කියලා මට කිව්වේ. මෙතන ඉන්න තමුන්නාන්සේලාගෙන් බහුතරයක්‌ මට ඇවිල්ලා ආරාධනා කළා. ඒ අනුව මම පක්‍ෂය භාර ගත්තා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති වෙන්න කාටවත් බලෙන් පුළුවන්කමක්‌ නෑ. ඒ වගේම බලපෑම් කරලා පුළුවන්කමකුත් නෑ. ඒ අනුව ව්‍යවස්‌ථානුකූලව ඒ කරන ලද ආරාධනයන් අනුව මම මගේ පක්‍ෂයේ සභාපති විදිහට තමුන්නාන්සේලා නැවතත් පත්කර ගත්තා. 

ඒ වගේම මම දැක්‌කා ඊයේ පෙරේදා පත්තර බලනකොට සමහර අය කියලා තිබුණා විනය පරීක්‍ෂණ පටන් ගන්නවා නම් පටන් ගන්න ඕන මගෙන් කියලා. තවත් සමහර අය කියලා තිබ්බා විනය පරීක්‍ෂණ කරනව නම් කරපුවාදෙන් බලාගම්මු කියලා. මේ පසුගිය මාසයක දෙකක කාලය ගත්තහම සමස්‌ත ලංකා කාරක සභාවේ ඉඳලම මම ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙනවා.

මම තමුන්නාන්සේලාගෙන් වෙන් වෙලා හිටියේ මාස එකහමාරයි. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අඛණ්‌ඩව අවුරුදු 47 ක්‌ වැඩකළා. ඒ හතළිස්‌ හත් අවුරුද්ද තුළ මම නායකයන් තුන් දෙනෙක්‌ එක්‌ක කටයුතු කළා. බණ්‌ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය, මහින්ද රාජපක්‌ෂ මැතිතුමා. ඒ නායකයන් තුන් දෙනෙක්‌ එක්‌ක කටයුතු කරනකොට ඒ නායකයන් තුන්දෙනාට ආවේණික වූ වෙනම ලක්‍ෂණ තිබුණා. බණ්‌ඩාරනායක මැතිනියට වඩා වෙනස්‌ ලක්‍ෂණ නායකත්වය විදිහට කටයුතු කරද්දී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනියට තිබුණා. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට වඩා වෙනස්‌ ලක්‍ෂණ මහින්ද රාජපක්‌ෂ මැතිතුමාගේ දැක්‌කා.

තමුන්නාන්සේලා මාව පස්‌වැනි නායකයා විදිහට පත් කරගත්තා. ඒ වගේම තමුන්නාන්සේලා මේ රටේ දේශපාලන ඉතිහාසය දන්න අය විදිහට පක්‍ෂ නායකයන්, ජනාධිපතිවරු මේ ධුරයේ හිටපු අය ඒ ධුරය අතහැර යැමත් සමග ඊළඟ නායකයාට භාරදුන් ආකාරය සහ ඒ ලබාදීමෙන් පසු හිටපු නායකයන් හැසුරුණු ආකාරය තමුන්නාන්සේලාගේ මතකයේ තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා, ප්‍රේමදාස මහත්තයට පක්‌ෂය භාර දුන්නා. ටික කාලයක්‌ යනකොට විශේෂයෙන්ම අගමැති ධුරය සම්බන්ධයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ එක්‌සත් ජාතික පක්‌ෂය තුළ අර්බුදයක්‌ ඇතිවුණා. ගාමිණී දිසානායක මහත්තයාගෙයි, ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡේ. ආර්. ජයවර්ධන මහත්තය හමුවෙන්න ගියා. ගිහින් කිව්වා මේ ගාමිණීගෙයි ලලිත්ගෙයි ප්‍රශ්නයක්‌ මතුවෙලා තියෙනවා. පක්‌ෂය තුළ ඔබතුමා මේකට මැදිහත්වෙලා මේක විසඳන්න කියලා. ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා මොකක්‌ද දුන්න උත්තරේ ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා ප්‍රේමදාස මම ඔයාට පක්‌ෂය භාරදීලා අයින් වෙලා ආවේ. දැන් ඕගොල්ලො පක්‍ෂයේ වැඩ කරගෙන යන්න. මම පක්‌ෂයේ ආරවුල් බේරන්න එන්නෙත් නැහැ. පක්‌ෂයේ වැඩවලට මම එන්නෙත් නෑ. මම ඔය වැඩෙන් දැන් අයින්වෙලා කියලා. 

මට මතකයි, තමුන්නාන්සේලාට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2005 ඉවත් වුණාට පස්‌සේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා ජනාධිපති ධුරයට පත්වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්‌ෂ මහත්තයට පක්‌ෂය භාරදුන්නා. මගේ මතකයේ හැටියට පක්‌ෂය භාරදීලා එතන ඉඳන් පක්‌ෂය සහ ඒ වැඩ කටයුතු කෙරෙනවද තියනවදවත් කියලා එතුමිය බැලුවේ නැහැ. පක්‌ෂය භාරදුන්නේ පක්‌ෂය කරගෙන යන්න. මහින්ද රාජපක්‌ෂ මහත්තයා මට පක්‌ෂය භාරදුන්නා නම් මට මේ පක්‌ෂය කර ගෙන යන්න දෙන්න ඕන. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕන. 

අර මහත්තයෙක්‌ කිව්වා රැස්‌වීම් දෙකක්‌ යනවා ජනතාව ඒකරාශි වෙනවා. මහින්ද රාජපක්‌ෂ මහත්තයා එක්‌ක ජනතාව ඒකරාශි වෙනවා කියලා. අපෙන් අහනවා කවුද ඒ රැස්‌වීම් සංවිධානය කරන්නේ. මම ඒකයි අහන්නේ තමුන්නාන්සේලාගේ හෘද සාක්‍ෂිය තුළ තමුන්නාන්සේලා තීන්දු කරන්න ඕන.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා මගෙන් ඇහුවා පක්‍ෂය භාරගන්නවද කියලා. කට ඇරලා මම කිව්වා සර් දෙනව නම් මම භාර ගන්නවා කියලා. ඊළඟට මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඊළඟ නිලධාරි මණ්‌ඩලය එක්‌ක එහෙම්මම භාර ගන්නවද කියලා. මම කිව්වා නැහැ සර් මට අලුත් නිලධාරි මණ්‌ඩලයක්‌ පත් කරගන්න ඕන කියලා. ඒ වෙලාවේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා කිව්වා ප්‍රශ්නයක්‌ නැහැ ඔයාගේ කැමැත්තක්‌ කරගන්න කියලා. එච්චරයි කථාව. ඊට පස්‌සේ චමල් රාජපක්‌ෂ එතන හිටියා. අපි තේ එකක්‌ බීලා එළියට එනකොට මන්ත්‍රීවරු 25 ක්‌ 30 ක්‌ හිටියා. බොහොම සුහද කතාබහක්‌ තිබුණා. දැන් විශේෂයෙන්ම මම කියන්නේ මම සභාපති වුණාට පස්‌සෙ පක්‍ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා කියලා. තම තමන්ට ඕන විදිහට කතා කරන්න පටන් අරන් තියනවා. ඒක හොඳ ලක්‌ෂණයක්‌. ඉතිහාසයේ පළමුවැනි වතාවට පක්‌ෂයේ සභාපතිට අභියෝග කරනවා මම දැක්‌ක ඊයේ පෙරේදා පත්තරවල. ඇයි එයාට විනය පරීක්‍ෂණ නැත්තේ කියලා. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව ඒකමතිකව මමත් රාජිත ඇමැතිතුමා, දුමින්ද දිසානායක, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන අපි ඔක්‌කොම චෝදනා පත්‍ර අයින් කරලා මේ වගකීම් දුන්නේ. ඒකයි ඇත්ත කතාව.

අද තමුන්නාන්සේලා දන්නවා අපි මැතිවරණයක්‌ සඳහා මුහුණදිය යුතුමයි. ඒකෙන් නිදහස්‌ වෙන්න බෑ. මැතිවරණයක්‌ සඳහා මුහුණ දෙනකොට අප තුළ තිබිය යුතු පළමුවැනි දේ අදට ගැළපෙන සටන් පාඨය. මම දැන් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවේදී මොකද කිව්වේ තමුන්නාන්සේලාගේ දේශන ඔක්‌කොම අහගෙන ඉඳලා මම කිව්වේ අදට සුදුසු සටන් පාඨය අතට ගන්න ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඒ වෙලාවේ හැටියට සුදුසු සටන් පාඨය රටේ ජනතාවට සහ අනාගතයට ගැළපෙන ව්‍යවස්‌ථා සංශෝධනය. මම කිව්වා ව්‍යවස්‌ථා සංශෝධනය අතට ගන්න. මම බොහොම සතුටු වෙනවා තමුන්නාන්සේලා ඒ සටන් පාඨය අතට ගත්තා. ඒ තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විදිහට තමුන්නාන්සේලා තම මත ඉදිරිපත් කළා. යම් වැඩපිළිවෙළකට ආවා. 

දැන් අද මේ මැතිවරණයක්‌ පෙනි පෙනි අත ළඟ තිබියදී අපි සියලු දෙනා එකට වැඩ කරන්න ඕන කියන එක නැවත නැවත කියන්න ඕනද. සමස්‌ත ලංකා කාරක සභාවේදී මම කරපු කතාව අහගෙන හිටිය නම් මම ඒකෙදි කිව්වා මොකක්‌ද වැඩපිළිවෙළ කොහොමද මැතිවරණයට මුහුණ දෙන්නේ. පක්‍ෂය කොහොමද ජයග්‍රහණය කරවන්නේ කියලා. අද තමුන්නාන්සේලා ජාතික සංවිධායක පත්කරපු කමිටු ගැන කතා කළා. කවුද ඒවා පත්කෙරුවේ. මමද පත්කෙරුවේ. සමස්‌ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශයට පත් කෙරුවේ. එදා අපි වැඩ ටික භාර දුන්නේ. මැතිවරණයක්‌ සඳහා සූදානම් වෙලා මේ වැඩපිළිවෙළට යමු කියලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බණ්‌ඩාරනායක අගමැතිතුමා තමයි ඔප්පු කරලා පෙන්නුවේ පක්‍ෂය හදපු නිර්මාතෘවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තනි සිංහල බෞද්ධයන්ගේ පක්‍ෂයක්‌ නොවෙයි කියලා. තනි සිංහල බෞද්ධ පක්‍ෂයක්‌ විදිහට මේ රටේ ආණ්‌ඩුවක්‌ අල්ලන්න බැහැ පක්‍ෂයකට.

එතකොට අද අපි අතේ තියෙන සටන් පාඨ මොනවද? දැන් පෙරේදා මෙතැනම තිබුණා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ රැස්‌වීම. විධායක සභාව මාව තේරාගත්තා සභාපතිවරයා විදිහට. ඊට පස්‌සේ තිබුණා සන්ධානයට අයිති නැති එහෙත් සන්ධාන සමග මැතිවරණයකට තරග කළ පක්‌ෂවල නායකයන්ගේ රැස්‌වීමක්‌. ඒ දෙකේදීම දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළා යම් යම් ප්‍රශ්න. වාසුදේව නානායක්‌කාර යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒවට මම බොහොම පැහැදිලිව උත්තර දුන්නා. මම උත්තර දුන්නට පස්‌සේ එතනින් එහාට වචනයක්‌ එතුමන්ලා කතා කළේ නැහැ. මම කිව්වා විශේෂයෙන්ම ජාතික ආණ්‌ඩුවක්‌ පිළිබඳ සංකල්පයට විරුද්ධවනේ එතුමන්ලා කතා කරන්නේ. මම බොහොම පැහැදිලිව කිව්වා ජාතික ආණ්‌ඩු සංකල්පයක්‌ ඇයි මේ කතා කරන්නේ කියලා. 

මම තමුන්නාන්සේලාට එක්‌ දෙයක්‌ කියනවා. මගේ අවුරුදු 49 ක දේශපාලන ජීවිතයත් එක්‌ක මේ මාස දෙකේ ජනාධිපතිවරයා විදිහට වැඩ කරන කාලයේදී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා එදා රාත්‍රී භෝජන සංග්‍රහයේ දී එකට වාඩිවෙලා ඉන්නකොට මගෙන් ඇහුවා දැන් මාස දෙකයිනේ ජනාධිපතිවෙලා. මාස දෙකට ඇත්දැකීම් ඇති නේද කියලා. මට වාසනාව ලැබුණා මහ රැජින එක්‌ක පැය භාගයක්‌ විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා.

නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්‌කගෙන ගියේ. බ්‍රිතාන්‍ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස්‌ ගලවලා. බකිංහැම් මාළිගාවේදී මේ මාස දෙකට මම තේරුම් ගත්තා මේ රටේ අනාගතය පිළිබඳව මොනතරම් අභියෝග තිබෙනවද කියලා. තමුන්නාන්සේලා අපි මොනතරම් කතන්දර කිව්වත් තමුන්නාන්සේලා අපි හරියට වතුර රත්වෙනකන් දඟලන කකුළුවෝ වගේ. මේ සමහර සටන් පාඨ අරගෙන ගිහිල්ලා ආවේගශීලී සටන් පාඨ ජාතිවාදී සටන්පාඨ, මේවා අරගෙන ගිහිල්ලා තමුන්නාන්සේලා අපේ ජීවිත කාලය තුළම නැවත යුද්ධයක්‌ ඇති කරගන්න ලෑස්‌ති වෙන්න එපා.





Share this