අද සිට සිනමාහල්වලට එන ස්පන්දන ගැන

මයුමි නර්තනයට දක්‍ෂ කෙලිලොල් තරුණියකි. පවුලේ එකම දියණිය වන ඇය තම පියා වන සාලියගේ සහ මව වන කුමුදුගේ ආදරය බෙහෙවින් ලබන්නියකි. නමුත් මෙම පුංචි පවුලේ සතුටට බාධා කරමින් මයුමිට හෘදය ආශ්‍රිත බලවත් රෝගයක්‌ ඇති බවත් ඒ සඳහා ඇයට හෘදයක්‌ බද්ධ කිරීමට අවශ්‍ය වන බවත් පවුලේ සියල්ලෝ දැන සිටියි. මයුමිගේ නැන්දනිය, එනම් පියාගේ නැගණිය මයුමිගේ හොඳම මිතුරිය මෙනි. නැන්දනිය වුවත් වසර 9 ක පමණ වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනා බෙහෙවින් එකිනෙකාට ඇලුම් කරයි. මයුමිගේම රුධිර ඛාණ්‌ඩය සහිත පියුමි (නැන්දා), තම අයියාගේ දියණියගේ හෘදයේ ආබාධ තත්ත්වය හේතුවෙන් තම මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර සිටින්නියක්‌ ලෙස ලියාපදිංචිව සිටින්නීය.

පියුමි එකවරම ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බව දැන ගැනීමට හැකි වෙයි. නර්තනයට බෙහෙවින් ඇලුම් කරන මයුමි ගීතයක්‌ සඳහා නර්තනයක යෙදෙන අවස්‌ථාවක්‌ අවසානයේ පපුවෙහි ඇති වන අපහසුතාවක්‌ පෙන්නුම් කරන අතර, තම නැන්දනිය ගෙල වැළලා මිය ගොස්‌ ඇති පුවත එම අවස්‌ථාවේ ආරංචි වෙයි. තමා ජීවත් කරවීම සඳහා මෙලෙස තම නැන්දනිය ජීවිතය පරිත්‍යාග කර ඇති බව දැනගන්නා මයුමි බෙහෙවින් කනස්‌සල්ලට පත් වෙයි.

තම ශල්‍යකර්මය අවසන් කර මාස 9 ක්‌ පමණ කාලයක්‌ වන විට මයුමි දැනගන්නේ බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ තම නැන්දනියට අයත් බංගලාව තමාගේ නමට ඇය මිය යැමට පෙර පවරා ඇති බවයි. මේ වන විට සිතුම් නම් ව්‍යාපාරික තරුණයකු සමග විවාහ ගිවිසගෙන සිටින මයුමි තම නැන්දනිය විසින් තමාගේ නමට ලියා ඇති බංගලාව දැක බලා ගැනීමට යැමට උනන්දුවන්නේ දේපළ පිළිබඳ ඇයගේ ඇති කැමැත්ත නිසා නොව තම නැන්දනියගේ බොහෝ මතක සටහන් එහි ඇති බැවිනි. විනෝද චාරිකාවක්‌ ලෙස සැලසුම් කර ගන්නා මෙම කටයුත්ත සඳහා සිතුම්ගේ මිතුරන් දෙදෙනකු වන කැලුම් සහ විහඟ ද මයුමිගේ මිතුරියන් දෙදෙනකු වන අචිනි සහ ශාක්‍යා ද සහභාගි වෙයි.

බංගලාවට යන ඔවුන්ට හමුවන්නේ දර්ශන් නම් වත්ත බලා ගන්නා හැඩි දැඩි මිනිසකුවයි. බංගලාවට මෙම කණ්‌ඩායමේ පැමිණීම පිළිබඳ සැක සහිත සතුටක්‌ දක්‌වන මොහු බොහෝ කාලයකින් තම ගමට නොගිය බව පවසා දින කිහිපයකින් පැමිණීමට පොරොන්දු වී පිටව යයි.

බංගලාව තුළ විවිධ කාමර පරීක්‍ෂා කරන සියල්ලෝ ඔවුන්ගේ නවාතැන් පහසුකම් සලසා ගනියි. මේ අතර විහඟ විසින් සිදු කරනු ලබන විහිළුවක්‌ හේතුවෙන් බෙහෙවින් අචිනි බියට පත් වන අතර සියල්ලෝ ඉදිරියේ ඇය විහඟට බැණ වදියි. ඒ පිළිබඳ අමනාප බවක්‌ දක්‌වා ඔහු නිවසෙන් පිටව යන්නේ සැබෑවටම නොවේ. කෙසේ නමුත් රෑ බෝවී එන විට නිවසෙන් පිටත ජල පහරක්‌ ආසන්නයේ සිටින විහඟට දැනෙන්නේ තමා පසුපස කවුරුන් හෝ පැමිණෙන බවයි. මෙම අවස්‌ථාවේ කවුරු හෝ විහඟ පසුපස එළවා ගෙන යන අතර ඔහුව දියේ ගිල්වා මරා දමයි. බංගලාවේ නාන කාමරය වෙත එන පාද දෙකක්‌ පමණක්‌ පෙන්නුම් කරන අතර ඒ විහඟව මරා දැමූ පුද්ගලයා බව පැහැදිලි වන්නේ තෙත බරිත වූ ඇඳුම් නිසාවෙයි. මේ අතර නාන කාමරයක කණ්‌ණාඩියක්‌ ඉදිරියේ සිටගෙන සිටින මයුමි එකවරම දකින්නේ තම නැන්දනියගේ ප්‍රතිබිම්බය යක්‌ෂාවේෂ වූ ආකාරයකින් ක්‍රියා කරමින් දර්පනය තුළින් කතා කරන ආකාරයයි. මයුමි කෙරෙහි දැඩි ආදරයක්‌ තිබුණා වුවත් ඇයට හදවත ලබා දීම වෙනුවෙන් තමා සිය දිවි හානිකර නොගත් බවත් තමාව මරණයට පත් කළ පුද්ගලයාව සොයා ගන්නා ලෙසත් දැඩි කෝපයකින් ප්‍රතිබිම්බයේ සිටින නැන්දනිය මයුමිට පවසයි. බෙහෙවින් බියපත් වන මැය කිසිවකුට කිසිවක්‌ නොපවසා සිතුම් සමග නින්දට යයි.

මයුමිගේ හා හිතවතුන්ගේ ජීවිතවලට ඉදිරියේදී කුමක්‌ සිදුවේද, පියුමිගේ ඝාතකයා කවුරුන්ද? මාර්තු මස 18 වනදා සිට තිරගත වීමට නියමිත 'ස්‌පන්දන' සිනමා පටය සුනෙත් මාලිංගගේ අධ්‍යක්‍ෂණයක්‌ වන අතර ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි.

ස්පන්දන චිත්‍රපටයේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

ඡායාරූප - ජිතේන්ද්‍ර ලියනගේ



Share this