කුසේ ඉන්නේ දුවක් නම් වමනේ යනවා වැඩියි

ගර්භණි සමයේ ඇති වන සුළු අසනීපයක් නිසා වුණත් සෑහෙන්න බය වෙනවනේ. ඒ කාලයේදී ඇති වන ඇඟේ සාමාන්‍ය වෙනස්කම් වුනත් අඩු වැඩි වීම් මත මෙවැනි තත්ත්ව ඇති වනවා. ඒ අතරෙන් ප‍්‍රධාන කාරණයක් තමා ඔක්කාරය සහ වමනය කියන්නේ.

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට බලපාන බව සොයා ගෙන තිබෙනවා. එසේ බලපාන කාන්තාවන්ගෙන් භාගයකට පමණ ඔක්කාරය සහ වමනය යන දෙකම සෑදෙන අතර ¼ කට සෑදෙන්නේ ඔක්කාරය පමණයි. මෙම අපහසුතාවය සෑදෙන ඉතිරි කාන්තාවන්ට එම තත්වය බලපාන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එය ඉක්මනින් පහව යනවා.

ඔක්කාරය හෝ වමනය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගර්භනී සමයේ 6 වන සතිය පමණ වන විටයි. නමුත් ඇතැම් විට එය 4 වන සතියේදී පවා ආරම්භ විය හැකියි. එසේම එම තත්වය ඊළඟ මාසය තුල ඇතැම් විට වැඩි විය හැකියි.

මෙසේ ඔක්කාරය හෝ වමනය සෑදෙන කාන්තාවන්ගෙන් භාගයක් පමණ ගර්භනී සමයේ 14 වන සතිය පමණ වන විට සම්පූර්ණයෙන් සුව වනවා. ඉතිරි අයට එම තත්වය තවත් මාසයක් පමණ පැවතිය හැකියි. එසේම ඇතැමුන්ට මෙසේ පහව ගිය ඔක්කාරය/වමනය නැවත විටින් විට සැදීමට ඉඩ තිබෙනවා. ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්වය ගර්භනී සමය පුරාම පැවතිය හැකියි.

ඇතැම් කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ මතු වන්නේ උදැසන කාලයේදී පමණයි. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ලක්ෂණ දවසේ  ඕනෑම වෙලාවක හෝ දවස පුරාම පැවතිය හැකියි. එසේම මෙම රෝග ලක්ෂණ කොපමණ තදින් පවතින්නේද යන්නත් එකිනෙකාට වෙනස් විය හැකියි.

මෙම රෝගී තත්වය ඇති වන්නේ ඇයි?

මෙම තත්වයට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නැහැ. නමුත් පහත දකවා ඇති හේතුන්ගෙන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව කිව හැකියි.

එච් සී ජී (HCG) හෝමෝනය

මෙම හෝමෝනය ගර්භනී කාලයේ ඔබගේ සිරුර තුල විශාල වශයෙන් නිපදවනවා. මෙම හෝමෝනය ඔක්කාරය හෝ වමනය ඇති කරන්නේ කෙසේදැයි කෙලින්ම කිව නොහැකි නමුත් මෙම හෝමෝනයේ බලපෑමක් ඇති බව විවිධ හේතු නිසා පැහැදිලි වනවා.

එනම් ඔක්කාරය/වමනය ආරම්හ වන කාලය සහ මෙම හෝමෝනය ඔබගේ සිරුරේ වැඩි වශයෙන් නිපදවෙන කාලය එකම වීම සහ මෙම හෝමෝනය වඩාත් වැඩිපුර නිපදවෙන අවස්ථා වන නිවුන් දරු ගර්භනී අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ සැදීමේ වැඩි අවදානමක් තිබීමයි.


ඊස්ට‍්‍රජන් (Estrogen) හෝමෝනය

මෙම හෝමෝනයද ගර්භනී සමයේදී සීඝ‍්‍ර ලෙස වැඩි වන හෝමෝනයක්. මෙම හෝමෝනයද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වන බව හඳුනාගෙන තිබෙනවා.

ගර්භනී සමයේ ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම සහ එම සුවඳ වලට ඇති සංවේදීතාවය වැඩි වීම

ගර්භනී සමයේ ඔබට ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වන බව සමහර විට ඔබත් අත් දැක ඇති. මෙසේ වැඩිපුර ගඳ/සුවඳ දැනීම සහ එම ගඳ සුවඳ වලට සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් සුවඳ වල දැනුනු විට ඔක්කාරය/වමනය ඇති විය හැකියි. මෙසේ වීමට හේතුවක්ද මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නැහැ.



ඇතැම් කාන්තාවන්ගේ ආහාර මාර්ගය ගර්භනී කාලයේදී වඩාත් සංවේදී බවට පත්වනවා.

එසේම ඇතැම් විට ඔබට හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නමින් හඳුන්වන බැක්ටීරියාව නිසා ඇති වන ගැස්ට‍්‍රයිටිස් රෝග තත්වය තිබේ නම් එයද ඔක්කාරය/වමනය වැඩි වීමට හේතු වනවා.

එසේම මෙම ඔක්කාරය/වමනය ඇති වීමට මානසික හේතූන්ද බලපෑ හැකි බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දී ඇති නමුත් මෙය තවමත් තහවුරු වී නැහැ.

ඇතැම් ගර්භනී කාතාවන්ට ඔක්කාරය/වමනය සැදීමේ වැඩි අවදානමක් තිබේද?

ඔබට පහත සඳහන් කාරණා වලින් එකක් හෝ අදාළ වේ නම් ඔබට ඔක්කාරය/ වමනය ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

ඔබට ගර්භනී වී ඇත්තේ නිවුන් දරුවන්ගෙන් හෝ ඊට වඩා වැඩි දරුවන් ගණනකින් නම්. මෙසේ වූ විට ඔබගේ ශරීරයේ ඉහතදී සඳහන් කල එච් සී ජී  හෝමෝනය සහ වෙනත් හෝමෝන අධික ලෙස නිපදවනවා. එම නිසාම නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට ඔක්කාරය/වමනය සැදුනු විට එය අනිත් මවු වරුන්ට වඩා දරුණු වීමටද ඉඩ තිබෙනවා. නමුත් ඔක්කාරය/වමනය සෑදීම අනිවාර්යයෙන් සිදු නොවන අතර ඔබට ඇතැම් විට එය නොසෑදීමටත් ඉඩ තිබෙනවා.
ඔබට මීට කලින් ගර්භනී වී සිටි අවස්ථා වල ඔක්කාරය/වමනය සෑදුනා නම්.
ඔබට උපත් පාලන පෙති (ඔබ මීට කලින් එව භාවිතා කර ඇත්නම්* වලට ඔක්කාරය/වමනය සැදී තිබේ නම්.
ඔබට රථ වාහන වල ගමන යන විට සාමාන්‍යයෙන් ඔක්කාරය/වමනය සැදෙන්නේ නම්.
ඔබගේ මව,සහෝදරිය ඇතුළු ලඟම ලේ නෑයන්ට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදී ඇත්නම් ඔබට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදීමට ජානමය නැඹුරුතාවයක් තිබිය හැක.
ඔබට ඉරුවාරදය (Migraine) නිසා ඔලූ‍වේ කැක්කුම නිතර සෑදෙන්නේ නම්. ඔබට ලැබෙන්නට සිටින්නේ ගැහැණු දරුවක්.

Share this