Consultants for more than just the stomach - Ranjan

උපදේශකවරුන් කළේ බඩ වඩා ගැනීම විතරයි - රන්ජන් රාමනායක  


රන්ජන් රාමනායක පසුගිය කාලපරිච්ඡේදය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් නව යහපාලනයක බලාපොරොත්තු ජනතාව තුළ ඇති කරවමින් මෙරට දේශපාලන ගමන්මඟ වෙනතකට යොමු කිරීමට කැපවීමෙන් කටයුතු කළ දේශපාලන චරිතයක්. ඔවුන් පැතූ දේශපාලන වෙනස පසුගිය නවවැනිදා සිට මෙරට ක්‍රියාත්මක වෙමින් පවතී. නව යහපාලනයක නැවුම් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ වූ නව රජයේ සමාජසේවා සුබ සාධන සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් වූ රන්ජන් රාමනායක සමඟ කතා බහකට පසුගිය දිනක අපි එක්වූයෙමු.


මෙරට පාලන තන්ත්‍රයේ වෙනසක් වෙනුවෙන් පසුගිය කාලපරිච්ඡේදය පුරා ඔබ දැඩි වෙහෙසකාරි කටයුත්තක නියැළිලා සිටියා. ඔබ පැතූ යහපාලනය දැන් ලැබී තිබෙනවා. මොනවද ඔබේ ඉදිරි සැලසුම්?


සත්‍ය ලෙස කිවුවොත් පසුගිය කාලය අපි ගෙව්වේ මරණ බයකුත් හිතේ තියාගෙන. තිබුණු ආණ්ඩුව පරාජය කරන්න අපි සටන් බිමට බැස්සේ අපේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව. බැරිවෙලා හෝ පැවතුණු ආණ්ඩුව යළි බලයට පත්වූවා නම් අපට අද මෙහෙම ජීවත් වෙන්නවත් වෙන්නේ නෑ. පසුගිය කාලයේ පැවතුණු සම්මන්ත්‍රණ සාකච්ඡා විවාදයන්ට සහභාගි වී ජනතාව දැනුවත් කිරීමේ කාර්යය නිසා මේ වන විට මට නඩු 5 ට ආසන්න ප්‍රමාණයක් වැටිලා තිබෙනවා. කෝටි ගණන් වංචා කරපු දූෂිත ඇමැතිවරු මට විරුද්ධව නඩු පැවරුවා.


මේ ක්‍රමය වෙනස් කරන්න අපිට නොයෙකුත් සටන් ක්‍රම උපයෝගී කරගන්න සිද්ධ වුණා. වෙලාවක මට මාතර සුනිල් යනුවෙනුත් පෙනී හිටින්න සිද්ධ වුණා. අපි ගෙනියපු ක්‍රියාවලියට මේ රටේ ජනතාව සංවේදී වුණා කියල මට විශ්වාසයි. ඒ නිසා මේ වෙලාවේ මට කියන්න තිබෙන්නේ ලංකාවේ ජනතාවට පින්සිද්ධ වෙන්න ඕන ඒ සටන ගෙනියන්න දීලා අපි කියපු දේ අහගෙන ඉඳලා, අපට කන්දීලා යහපත්, ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන් ඔවුන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කළාට.


ඔබට නියෝජ්‍ය ඇමැතිධූරයක් ලැබුණා. දැන් පෙරටත් වඩා ජනතා යහපත වෙනුවෙන් සේවය කළ හැකියි. ඔබට සැලසුම් තිබෙනවාද?


මට ලැබුණේ සමාජසේවා, සුබ සාධන සහ පශු සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිධුරය. අමාත්‍යාංශ තුනකට වෙන්වලො තිබුණු එය ඒකාබද්ධ කරලයි දැන් තිබෙන්නේ. මේ අමාත්‍යාංශ තුනම සමාජයට, මහජනතාවට විශාල වශයෙන් උදව් කළ හැකි වැඩ කළ හැකි අමාත්‍යාංශ. සමාජ සේවය කියන එක මට අමුතු දෙයක් නොවෙයි. මෙපමණ කලක් මම දේශපාලන නියෝජිතයකු වශයෙන් කිසිදු අමාත්‍යාංශයක් නොමැතිවත් කළේ සමාජ සේවය තමයි. මැද පෙරදිග ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නයට මම පූර්ණ කාලීනවම මැදිහත් වෙලා හිටියා.


මේ ලැබුණු අවස්ථාව තවත් ඉදිරියට ක්‍රමවත්ව මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න මට විශාල ශක්තියක්. ඉදිරියේදී මට පැවරුණු මේ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ඉතා තියුණු අධ්‍යයනයකින් පසුව ජනතා යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කරන්න මම කැපවෙනවා. ඊට අමතරව අල්ලස් හා දූෂණ වංචා විමර්ශනය පිළිබඳ මගේ අවධානය වැඩි නිසා ඒ සම්බන්ධයෙන් මගෙන් ඉටුවුණ කාර්ය භාරය ඉටුකරන්නත් මම පැකිලෙන්නේ නෑ. පසුගිය කාලයේ සිදුවුණු එවැනි දූෂණ වංචා පිළිබඳ file දැනටත් පෝලිමේ මගේ මාදිවෙල නිවෙසට රැගෙන එන පිරිස් ඉන්නවා.


ඔබ දේශපාලනයට යොමු වුණාට තවමත් ඔබ මේ රටේ ජනප්‍රියම නළුවා. ඒ ජනප්‍රියත්වය මත තමයි ඔබ දේශපාලනයටත් එන්න හේතු වුණේ. ඔබ එතැනට ඔසවා තැබූ සිනමාව වෙනුවෙන් ඔබේ කිසියම් මැදිහත් වීමක් සිදුවෙනවාද?


මම සිනමාවට ආපු හැටි මට හොඳට මතකයි. දුක් ගැහැට විඳලා ජනප්‍රියත්වයේ ඉහළ ආ සැටිත් මතකයි. දේශපාලන කටයුතුවලට නැඹුරු වුණා කියලා මගේ ජනප්‍රියත්වය අඩු වුණේ නෑ කියලා මම විශ්වාස කරනවා. මම මැරෙන තුරුම සිනමාව වෙනුවෙන් මගේ ඇති කැමැත්ත නැතිවෙන්නේ නෑ. සිනමාව වෙනුවෙන්, සිනමා කලාකරුවන් වෙනුවෙන් මට කළ හැකි උපරිමය කරන්න මම මැදිහත් වෙනවා. ඉස්සරලම අපේ කලාකරුවන්ට විධිමත් විශ්‍රාම වැටුපක් සකස්කර දෙන්න අවශ්‍යයි. ඒක මට විශේෂයෙන් මතක් කළේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක සමඟ පසුගිය දිනක කළ කතා බහකදි. 122 ක් පමණ වෙන මන්ත්‍රිවරුන්ගේ වාර්ෂික අනුමත මුදල්වලින් ලක්ෂයක් වෙන් කළොත් ලක්ෂ 225 ක අරමුදලක් අපට හදාගන්න පුළුවන්. අරමුදල් තර කර ගත්තොත් රු. 15000/- ක පමණ විශ්‍රාම වැටුපක් ලබාදීමේ සැලසුමක් හදාගන්න පුළුවන්. දැන් ලැබෙන විශ්‍රාම වැටුප රු. 2000 ක් හෝ 3000 ක් අතර මුදල විශ්‍රාමිකයින්ට බෙහෙත් හේත් ගන්නත් මදි.

දුර පළාතක ඉන්න කෙනෙක් ඕක ගන්න කොළඹට එන්නත් ඊට වැඩිය වියදමක් යනවා. ඒ නිසා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් මිලියන 150 ක් පමණ වැය කර හම්බන්තොට ඉදිකළ ටෙලි සිනමා ගම්මානය ඇත්තටම සුදු අලියෙක් නේ. ඕක බොරු වැඩක් කියලා ඒ දවස්වලම අපි කිව්වා. ඒ වුණාට සිනමා පිළිබඳ පත්වෙලා හිටපු උපදේශකවරුන්ගේ කීම පිට ඒවා සිද්ධ වුණා. ඔය සල්ලිවලින් දළුගම සරසවි චිත්‍රගාරය වගේ තැනක් නවීකරණය කරලා ලොකේෂන් වලට අවශ්‍ය කරන ස්ථාන එතැන හැදුවා නම් කොච්චර වටිනවද? ඕනම කෙනෙකුට විනාඩි 5 - 10 ක් ඇතුළත එතැන්ට එන්න පුළුවන්. උපදේශකවරුන් කියලා පහුගිය කාලේ හිටපු අය කළේ බඩ වඩා ගැනීම විතරයි. මේ පිළිබඳවත් විධිමත් විමර්ශනයක් කරලා අල්ලස් හා දූෂණ විමර්ශනය යටතේ ඒ අපතේ ගිය මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රමයක් පිළිබඳ සොයා බලනවා.

ඔබ දැන් වගකිවයුතු අමාත්‍යාංශයක නියෝජ්‍ය ඇමැතිවරයෙක්. අනෙක් පසින් ඔබ මේ ර‍ෙට් ජනප්‍රිය නළුවෙක්. දැන් සිනමා රංගනයට ලැබෙන ඉඩ අඩුවෙයි නේද?

මගේ කාලය තුළ මේ සියල්ල කළමනාකරණය කරගැනීම ගැන දැන් මම හිතනවා. දේශපාලනය නිසා කලාවෙන් සමුගැනීමේ මගේ කිසිදු බලාපොරොත්තුවක් නෑ. මීට ඉහතත් මේ දෙක මම මනා කළමනාකරණයකින් යුතුව ඉටු කළා. මගේ රඟපෑම් වලින් සතුටු වෙන විශාල ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් මට ඉන්නවා. අනිත් පැත්තෙන් දූෂණ වංචා කරපු හොරු අල්ලන්න මැදිහත් වෙයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ දහසකුත් ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වෙයි කියලා ඒ අයට විශාල විශ්වාසයක් තිබෙනවා. අමාත්‍යාංශ ඔස්සේ වන ජනතා සේවයත් අකුරට ඉටු කරන්න ඕන. මම දන්නවා මට විශාල වගකීමක් තියෙනවා කියලා. මේ හැම දෙයක්ම මගේ කාල කළමනාකරණයෙන් ඉටුවේවි. මේ සියලුදේට මම විවාහ නොවී තනිකඩයෙකුව සිටීම එක අතකින් වාසියක් වුණා. බිරිඳට, දරුවන්ට යුතුකම් ඉටුකරන්න, ඔවුන් වෙනුවෙන් කාලයක් වැය කරන්න අවශ්‍ය නොවන නිසා පැය 24 ම මට ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන්.

සිනමාවේ පැන නැගී ඇති අර්බුදකාරි තත්වයට වර්තමාන රජය පිළියම් ගෙනෙයිද?

අනිවාර්යයෙන්ම පිළියම් ගෙනෙයි. හැබැයි පසුගිය රජය වගේ සුදු අලි විසඳුම් නොවෙයි කියා මා විශ්වාස කරනවා. වර්තමාන රජය යහපත්, ආචාරශීලී පරිපාලනයක් ගෙනයන ආකාරය පළමු දවසේ පටන්ම ආදර්ශයෙන් පෙන්වා දුන්නා. වේදිකාවෙදි කිව්වා ජනාධිපති ධුරය හිමිවුවොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරනවා කියලා. ඒ දේ ඒ විදියටම ඉෂ්ට කළා. ඉතාම සරල චාම් දිවුරුම් දීමේ උත්සවයක් පැවැත්වුවා. වියදම බොහෝම අඩුවෙන් ගියේ. ජනාධිපතිධුරයට පත්වී අත්සන් තැබීමට ලක්ෂ ගණන් වටිනා පෑන් පාවිච්චි කරපු රටේ එතුමා පාවිච්චි කළේ ‘ඇට්ලස්’ පෑනක්. ඒ සරලකම රජයකට, රටකට හරියට වටිනවා. මේ ළඟකදි මංගල සමරවීර ඇමැතිතුමා ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණා. එතුමා ඉන්දියාවේදි පිළිගන්න මොහොතේදි අහල තිබුණේ කෝ අනිත් කට්ටිය කියලයි. එතුමා කියලා තිබෙනවා අපි තුන්දෙනයි ආවේ කියලා. නෑ වෙනදට 100 ක් එනවනේ ඒකයි ඇහුවේ කියලා ඔවුන් කියලා තිබෙනවා. ඒ නිසා මේ රජයේ අනවශ්‍ය දූෂණ වංචා වැඩ නෑ. වඩා හොඳ ක්‍රමවේදයක් සකස් කරාවි.

අමාරුවෙන් සිනමාවට ඇවිත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ආවා‍ සේම ඔබ දේශපාලන දිවියෙත් ක්‍රමයෙන් ඉහළට යනවා. ඔබේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

සිනමාවට එන්න මම වින්ද දුක් ගැහැට වගේම එතැන රැ‍‍ඳෙන්නත් මම වින්ද දුක් අනන්ත අප්‍රමාණ කියලා ඇති. අද නියෝජ්‍ය ඇමැතිවරයෙක් වුණත් මම සිනමාවේ බත් පැකට් එකට රඟපෑව නළුවෙක්ය කියන එක කියන්න මම ලැජ්ජ වෙන්නේ නෑ. නළුවෙකුට කොයිතරම් ජනතා ආකර්ෂණයක් තියෙනවද කියන එක මම මුලින්ම අත්දුටුවේ විජය මාමාගෙන්. මට මතකයි ඒ කාලේ කොයිතරම් ඉහළ වෘත්තිකයන් අතරදි වුවත් විජය මාමාට තිබුණු තැන. වෛද්‍යවරයෝ, ඉංජිනේරුවෝ, දේශපාලකයෝ හෝ කුමන තරාතිරමක කෙනෙක් වේවා විජය මාමාත් සමඟ කථා කරන්න, ඡායාරූපයක් ගන්න පොරකෑවා. ඒ නිසා ඒ අසීමිත ජනතා ප්‍රසාදයට මමත් ආශක්ත වුණා. මම හිතුවා ලෝකයේ හොඳම වෘත්තිය රඟපෑම කියලා.

මේ ආසාව ඉස්සරලම මම කිව්වේ මගේ අම්මට. ඒ ගමන බොහෝ දුක් කරදර ගෙවාගෙන මම ආවා. මම හිතුවේ නෑ කවදාවත් මට මෙච්චර දුර එන්න පුළුවන් වෙයි කියලා. ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ විජය මාමා කුරුසිය කරගහගෙන යනකොට ඒ සෙනඟ මැද්දේ මමත් හිටියා. තවමත් ‍හොයා ගන්න බෑ ඒ කොතැනද කියලා. ඒ විදියට ඇවිත් උප ප්‍රධාන චරිත කරලා ප්‍රධාන චරිත කරලා, දුෂ්ට චරිත කරලා, වීරයාගේ චරිත කරලා පෙම්වතාගේ චරිත කරලා අමාරුවෙන් නළුවෙක් වුණා. ඊට පස්සේ ගායකයෙක්, තිරකතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන්. මගේ දේශපාලන ජීවිතේත් ඒ වගේ තමයි. මුලින්ම කටාන ආසන සංවිධායක ලෙස මම වැඩ කරන්නේ. ඊට පස්සේ සබරගමුව පළාත් සභාවට ඉල්ලනවා. ඊටත් පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ. දේශපාලනය කළා කියලා මේ කාලය ඇතුළත මම චිත්‍රපට රංගනයට එක්නොවී හිටියේ නෑ. මට ගොඩනැඟුණු ජනප්‍රිය නළුවා නාමයත් මම මේ කාලය පුරාම රැක ගන්නවා. මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ජනතාවට සේවයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ ඇරුණම මගේ ජීවිතේ විශේෂ බලාපො‍රොත්තු නෑ.

Share this