මට මගේ සීමාවෙන් පිට යන්න බැහැ - නිපුණිකා හේවාගමගේ

නිපුණිකා මේ දවස්වල ටිකක් විවේකීව ඉන්නවා කියලා ආරංචියි?

ඔව්. නිවේදන කටයුතු හඬ කැවීම වගේම, රංගන කටයුතු තිබුණත් මේ දවස්වල පොඩි විවේකයක් තියෙනවා.

මේ දවස්වල පාර්ටිස් වැඩි නිසා ෂොපිං කිරිල්ලත් වැඩි ඇති නේ?

පාටිස් තිබුණත් නැතත් කොහොමත් ෂොපිං නම් කරනවා. හැබැයි ක්‍රිස්මස් නිසා පාර්ටිස් වැඩියි.

අලුත් අවුරුද්දේ නිපුණිකාගේ අලුත් ප්ලෑන්ස් මොනවද?

ගොඩක් අය නම් ඉතින් කියනවානේ මම මගේ වැරදි හදාගන්නවා. මේ අවුරුද්දේ කරගන්න බැරි වුණු දේවල් ටික අලුත් අවුරුද්දේ කොහෙම හරි කරනවා කියලා. හැබැයි මගේ නම් එහෙම විශේෂ දේවල් නැහැ. මගේ කෙහොමටත් ලොකු ගොල්ස් නැහැ.

පහුගිය කාලේ වගේම් ලබන වසරෙත් නිපුණිකා හැම චැනල් එකකම ඉඳියිඳ?

ඒක කියන්න බැහැ ඉතින්. වැඩ ලැබෙන විදිහ අනුව තමයි. ඒත් නිවේදන කටයුතු නම් දිගටම කරයි.

වැඩි කැමැත්ත නිවේදනයට වගෙයි?

නිවේදිකාවක ලෙසයි මාව සැහෙන පිරිසක් දැන ගත්තේ. මට මේ ක්ෂේත්‍රයට පවා එන්න අවස්ථාව ලැබුණේ එ නිසා.

නිවේදිකාවක ලෙස ඔබ වඩාත් කැමැති මොන ආරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නද?

දැනට නම් මම සංගීත වැඩසටහනක් තමයි කරන්නේ. එහිදි ටිකක් දඟලලා ල කරලා බොහොම සැහැල්ලු විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ නමුත් මම ඇත්තටම දඟයි වුණත් වැඩසටහනකදි මට එහෙම කරන්න බැහැ. ඒ හැරුණහම පහු ගිය වසරේ වැඩසටහන් ගොඩක් කළා. ඉන් මම ලොකු පන්නරයකුත් ලැබුණා.

හැබැයි මට මේ මේ වැඩසටහන් කළ යුතුයි කියලා විශේෂයක් නැහැ. කොයි වැඩසටහන වුණත් මගේම විදිහට තමයි ඉදිරිපත් කරන්නේ .

රංගන ශිල්පිනියක වීමෙන් මාධ්‍යව්දිනියක ලෙස තිබිය යුතු පෞරුෂයට යම් හානියක් වේවි යැයි හිතෙන්නේ නැද්ද?

එහෙම හිතෙන්නේ නැහැ. මොකද මම කොහොමත් හරියට සීමා තුළ ඉඳගෙන වැඩ කරන කෙනෙක්. මම කරන ඕනෙම චරිතයක් මට පවුලේ අය එක්ක එකට වාඩි වෙලා බලන්න පුළුවන්කමක් තිබිය යුතුයි. මට පොඩි මල්ලියෙක් ඉන්නවා. ඉතින් මම මගේ දෙමව්පියන්වත් සහෝදරයාටවත් අපහසුතාවයට පත් වෙන විදිහේ දෙයක් කළොතින් ඒය මටත් අපහසුවක්. ඒ නිසා මම ඒ විදිහේ වැඩ කරන්නේ නැහැ.

රංගනයේදී අපහසුතාවයට පත් වුණු අවස්ථා නැද්ද?

'පබසරා' නාට්‍යය නම් ලොකු අභියෝග ගොඩක් ජය ගන්න තිබුණු චරිතයක්. එහි කිරි දොවන දර්ශන මට කරන්න තිබුණා. ඉතින් පොඩි කාලේ ඉඳලා කොළඹ හැදුණු වැඩුණු මට ඒ අත්දැකීම අලුත්. මුලින්ම ඒ දර්ශනය කරද්දි බය හිතුණා. එත් මම වරදක් නොකරන නිසා ඒ සතා මට හානියක් නොකරයි කියලා හිත හදා ගත්තා.

ඔබ භාර ගත් චරිතයක අතර මඟදී සිප වැළඳ ගැනීමේ දර්ශනයක් කරන්න සිදු වුණොත්?

බුදු අම්මෝ! මම කරන්නේ නැහැ.එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.එ නිසා අනිවාර්යෙන්ම ඒ ගැන අධ්‍යක්ෂවරයාට සහ තිර රචකයාට කතා කරන්න වෙනවා. ඒත් මම නම් කීයටවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ.

නිපුණිකා ප්‍රතිපත්ති ගොඩක් දාගෙන ඉන්න හැඩයි?

ඔව්. මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ හැරුණු විට මට මගේ සීමාවෙන් පිට යන්න බැහැ. එහෙම කරන්න කැමැත්තකුත් නැහැ.

යන යන තැන අම්මා එක්ක යන්නේ මඟතොටදී කරදරයක් වේවියි කියලද?

අම්මා තමයි මගේ හොඳම යාළුවා. අපි එකටමයි ඉන්නෙත්. ගොසිප් එකක් වුණත් මම මුලින්ම ආරංචි වුණු ගමන්ම කියන්නේ අම්මටයි. දැන් මට පුරුදු වෙලා නිසා අම්මා නැතුව වැඩි වෙලා ඉන්නත් බැහැ. ඉතින් අම්මා ළඟින් ඉන්න එක මට ෆිට්.

නිපුණිකා වෙලාවට වැඩ කරන්න දැන් පුරුදු වෙලා ද?

මම උත්සාහ කරලා දැන් නම් බොහෝ දුරට ඒක හරි ගිහින් තියෙන්නේ.

අලුත් අවුරුද්දේවත් දීග යන්න අදහසක් නැතිද?

ඒක තාම හරියටම කියන්න විදිහක් නැහැ නේ. ගෙදර නම් ඔක්කොමලා හදන්නේ මාව දීග දීලා දාන්න.

අම්මට වදයක් ඇති?

ඔව් අම්මි නම් කියනවා අපෝ මට මෙයාගේ පස්සෙන් ගිහින් දැන් නම් ඇති වෙලා තියෙන්නේ කියලා.

දැන් මදැයි ඔය හැංගි හැංගි පෙම් කළා?

හැංගි හැංගි නම් නැහැ. දන්න අය දන්නවා. වැඩි විස්තරයක් තමයි ඉතින් තාම කිවේ නැත්තේ. ඔහුත් අධ්‍යාපන කටයුතු හමාර කරලා ළඟදි තමයි ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඉතින් ඔහු තව ස්ටේබල් වෙන්න එපැයි. නැත්නම් පව් නේ කොල්ලා.

පෙම්වතා දේශපාලන පවුල් පසුබිමක් තිබෙන නිසා ඒ ගැන කියලා පිරිමි ළමයි බය කරන කතාව හැබෑද?

කව්ද අප්පේ ඔය බොරුව කිව්වේ? කොහෙමටත් අම්මා ළඟින්ම ඉන්න නිසාමදෝ මට ලොකුවට එහෙම යෝජනා එන්නේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි ඇහුවොත් මට කොල්ලෙක් ඉන්නවා කියලා කෙළින්ම කියලා දානවා. බය කරනවා කියන කතාව නම් ලෝක බොරුවක්.

Source - රසඳුන

Share this