Gossip Chat with Samadhi Wandana

සමාජ ජාල හරහා කරන සමාජ සත්කාර දැන් බිස්නස් එකක් වෙලා - සමාධි

අද අපගේ සිරසගොසිප් කතාබහට එක්වන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම රංගන ක්ෂේත්‍රය සිතාවක පුරවරයෙන් පායන නවක තාරකාවියක් වන සමාධි වන්දනා සමගින්. මේ සිරසගොසිප් අප ඇය සමග සිදු කළ සාකච්ඡාවයි.

ඔයා ගැන විස්තර ටිකක් කියලාම අපි පටන් ගමුද? නම ගම වයස සහ විනෝදාංශය එහෙම.
මගේ නම සමාධි වන්දනා කුමාරිකා කොතලාවල. දැනට මට අවුරුදු 21 වෙනවා. මං ඉන්නේ අවිස්සාවේල්ලේ. මගේ විනෝදාංශ තමයි සිංදු ඇසීම, ලිපි ලිවීම, ඡායාරූපකරණය වැනි දේවල්. 

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද? 
මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එකතු වීමට නම් පොඩි කාලේ මට ආශාවක් තිබුණේ නැහැ. ඒත් රංගන ශිල්පිනියක් වෙන්න නම් මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා, පොඩි කාලේ ඉඳන්ම. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට ආසාවක් ඇති වුණේ මේ ළඟකදී තමයි. 

උදව් කරන සහ උදව් කරපු අය ගැන සඳහන් කළොත්...
නිරූපිකාවක් විදිහට ඉදිරියට යන්න මට ගොඩක් උදව් කළේ ගිතේන්ද්‍ර ලියනගේ අයියා තමයි.  ඒ වගේම රොෂාන් ජයකොඩිආරච්චිත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. 

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මොඩලින්වලදී මට සුදුසුයි කියලා හිතෙන දේ විතරයි මං කරන්නේ. විශේෂ සීමාවක් නැහැ. මට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ දේ කරනවා. 

මොනද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
මං ජනසන්නිවේදන අංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වාගේම මියුසික් වීඩියෝස්, ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබාදීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට පුළුවන් උපරිමයෙන් කලා ක්ෂේත්‍රයට උදව් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. 

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
ලංකාවේ මෝස්තර නිරූපණය නම් ඉහළ මට්ටමක තියෙනවා. ඒත් ඒ ක්ෂේත්‍රයට යොමුවන පිරිස අඩුයි. මේ ක්ෂේත්‍රයේ නිවැරදි ආකාරයෙන් කරනවා නම් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා මං  හිතනවා. ඒත් ඉතින් මොඩලින් කරනවා කිව්වා සමහරු නම් බලන්නේ මහ අමුතු විදිහකට. ඒත් මොඩලින් කියන්නේ කලාවට සම්බන්ධ දෙයක් තමයි. 

රඟපාන්න එහෙම කැමැති නැද්ද?
මං මුලින් කිව්වා වගේ මං ගොඩක්ම කැමැති රංගනයට. අපේ පවුල කලාවත් එක්ක ගොඩක් සම්බන්ධයි. එයාලා දැනටත් ඒ ක්ෂේත්‍රයේ ඉන්න අය. 
මේ වන විට රංගනයට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා මට. දැනට අලුතින් එන්න තියෙන ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගේ චිත්‍රපටයකට මං රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් චිත්‍රපට, ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවීමට බලාපොරොත්තු වනවා. 

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 
මං ළඟදි තමයි මේ ෆීල්ඩ් එකට ආවේ. ඒ ආපු කාලයත් එක්ක බලපුවහම අද මං ගොඩක් අඩුපාඩු හදාගෙන තියෙනවා. මං ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක්. මට සතුටුයි ඒ ටික කාලෙට ක්ෂේත්‍රයේ ගොඩක් දුර ආවා මම. 

මෙම ක්ෂේත්‍රවලදී දකින්න අකමැතිම දේ කුමක්ද?
රංගනයේදි, නිරූපණ ක්ෂේත්‍රයේදී මං දකින්න අකමැතිම දේ තමයි තමන්ගේ තත්ත්වේ නම්බුව තියාගෙන ඉන්න ගොඩක් අය දන්නේ නැතිකම. 

ආදරය ගැන මොකද හිතන්නේ....?
ආදරය හරි පුදුම දෙයක්... ආදරේ ගැන කියන්න ගියොත් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ආදරය යකරන්න වයසක් ඕනි නැහැ. ආදරේ කියන දේ හැම කෙනෙක්ටම ඕනි. ආදරය සුන්දරයි. 

දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
ඔව්... මම ආදරවන්තියක්.


සමාජ ජාල  හරහා මුදල් එක්රැස් කරමින් සිදු කරන සමාජ සත්කාර ගැන මොකද හිතන්නේ.
සමාජ සේවා කරන එක හොඳයි. තමන්ට පුළුවන් විදිහට මිනිස්සුන්ට රටට සේවය කරන එක හොඳයි. ඒත් සමාජ ජාල හරහා මුදල් එකතු කරන එක දැන් බිස්නස් එකක් වගේ වෙලා. සමාජ ජාලවල ඡායාරූප දාලා ඒවායින් ප්‍රසිද්ධිය ලබාගන්න අය ඉන්නවා. සමාජයට සත්කාර කරන එක හොඳ දෙයක්. ඒත් සමාජ ජාල හරහා ඒ කටයුතු කරන එකට මං නම් කැමැති නැහැ. අද ඉන්න ගොඩක් අය කරන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය තමන්ගේ වාසියට තමයි සමාජ සත්කාරවලට උදව් වෙන්නේ. බොරු කියලා සල්ලි හොයා ගන්න එකට නම් මං  කැමැතිම නැහැ. 

දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
දේශපාලනයට නම් මං උනන්දුවක් නෑ. ඒ නිසා දේශපාලනය ගැන මගේ අදහසක් නෑ. 

සමාධිගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න.


Share this