2015දී දැරියන් 1200කට අධික පිරිසක් ස්වකැමැත්තෙන් දූෂණයට ලක්වෙලා

2015 වසරේ පළමු මාස 11 තුළ ස්ත‍්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි 1854ක් තමන් වෙත ලැබුණු බව පොලිසිය පවසනවා. ඉන් 1501ක් වයස අවුරුදු 16 අඩු දරුවන් බවයි වාර්තා වන්නේ. විශේෂත්වයක් වන්නේ මෙම ස්ත‍්‍රී දූෂණවලින් සියයට 80කටත් වැඩි ප‍්‍රමාණයක් ස්ත‍්‍රියගේ කැමැත්තෙන් සිදුව තිබීමයි. පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා. 

වයස අවුරුදු 16 ට අඩු දැරියන් ස්ත්‍රී දූෂණයට ලක්වීම යටතේ සිද්ධීන් 1209 ක් සිදුව තිබෙන්නේ අදාළ දැරියගේ කැමැත්ත මත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. 

ශ‍්‍රී ලංකාව නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සිය කැමැත්තෙන්ම පුරුෂයෙකු සමග ලිංගිකව එක්වුවද එය ස්ත‍්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් ස්ත‍්‍රියගේ වයස අවුරුදු 16ට වැඩි නම් ස්ත‍්‍රී දූෂණයක් වන්නේ පුරුෂයෙකු විසින් ඇය සමග බලහත්කාරයෙන් ලිංගිකව එක්වුවහොත් පමණයි. 

2015 වසරේ පළමු මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 447ක් ද පොලිසියට වාර්තා වී තිබෙනවා. 2015 වසරේ පළමු මාස 9 තුළ සිදුව ඇති සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2375ක්. 2015 වසරේ අත්අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 46ක් වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන විසි හයදහස් හාරසීය අනූ දෙදෙනෙකු වනවා.

ගංජා කිලෝග‍්‍රෑම් 6569ක් ද 2015 වසරේදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන පනස්දහසක්. 

Share this